(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ඉන්ධන මිල ඉහළ යෑමෙන් ජනතාවට ඇතිවන බලපෑම අවම කිරීම මෙන්ම අස්වැසුම ප්‍රතිලාභීන්ට අතිරේක සහනයක් වෙනුවෙන් මුදල් වෙන් කිරීමට අදාල රුපියල් කෝටි 4700ක පරිපූරක ඇස්තමේන්තුවකට පාර්ලිමේන්තුවේ අනුමැතිය අද ලැබිණ.

පරිපූරක ඇස්තමේන්තුව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ අද ඉදිරිපත් කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, එම මුදලින් රුපියල් කෝටි 4100ක් බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේද රුපියල් කෝටි 600ක් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ මෙහෙයුම් වැඩසටහන යටතේ අස්වැසුම සඳහාද වෙන් කෙරෙන බවයි.

මැදපෙරදිග යුදමය තත්වය හේතුවෙන් ඉන්ධන මිලට ඇතිවූ බලපෑමෙන් දේශීය වෙළෙඳපොළේ පාරිභෝගිකයන්ට ඇතිවන පීඩනය අවම කිරීම සඳහා රුපියල් කෝටි 4100ක මුදල ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාස තුන වෙනුවෙන් ලබාදෙන බවද ඔහු පැවසීය.

එසේම මෙමගින් අස්වැසුම වැඩසටහනේ අන්ත දුප්පත් කාණ්ඩයට රුපියල් 6,250ක්ද දුප්පත් කාණ්ඩයට රුපියල් 4,000ක්ද වශයෙන් අතිරේක දීමනා ලබාදීමට නියමිත බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

අන්ත දුප්පත් කාණ්ඩයට හිමි දීමනාව වාරික දෙකකින් ගෙවන බවත් එය එක්වරක් පමණක් දෙන දීමනාවක් බවත් හෙතෙම පැවැසීය.

මෙම පරිපූරක ඇස්තමේන්තුව සඳහා අතිරේක වියදමක් නොදරන බවත්, දැනට වෙන්කර ඇති ප්‍රතිපාදන වෙනත් ක්ෂේත්‍රවලින් කළමනාකරණය කරමින් අවශ්‍ය මුදල් සපයාගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.