(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලබන වසරේදී විදේශ  ප්‍රේෂණ හොඳ මට්ටමකට ළඟා කරගන්න හැකි වනු ඇතැයි  බලාපොරොත්තු වෙන බව ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැතිනී ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවැසුවාය.

"ලෝකයේ දිගටම තෙල් පෝලිම් තිබෙනවා. සියලුම ඉන්ධන වල මිල ඉහළ යමින් තිබෙනවා.සැපයුම් දාම බිඳවැටී තිබෙනවා.යුරෝපයේ පවා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.නමුත් විපක්ෂය හැසිරෙන්නේ මෙහෙම දෙයක් ලෝකයේ සිද්ධ නොවෙනවා වගේ.

අප තෙල් ආනයනය කරන්නට වැය කරන ඩොලර් ප්‍රමාණය වැඩි නිසා ජංගම ගිණුමටත් මේ තත්ත්වය සෘජුවම බලපානවා.ලබන අයවැයෙන් ආර්ථිකය ස්ථාවර කිරීම යන කාරණයෙන් ඔබ්බට ගොස් පරිවර්තනීය වෙනසක් හෙවත් ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීම සඳහා වන අවධානය යොමු කර තිබෙනවා.මෙවැනි ලෝක තත්ත්වයක් යටතේ  අභියෝගයට මුහුණ දිය යුතුව තිබෙනවා.

මේ බාහිර කම්පන නිසා සංචාරක කර්මාන්තයේ යම් අඩුවක් දකින්නට ලැබුණත් නැවතත් එය යථා තත්ත්වයට ගමන් කරමින් සිටිනවා යනුවෙන් ද නියෝජ්‍ය අමාත්‍යවරිය කීවාය.