බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස පිහිටා ඇත්තේ ඩවුනිං වීදියේ අංක 10 ලිපිනයේය. මේ වනවිට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය හොබවන කියර් ස්ටාර්මර් සහ බිරිඳ වික්ටෝරියා ජීවත් වන්නේ ද මෙම නිල නිවසේය.

අග්‍රාමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් නිතර ගැවසෙයි. ආරක්ෂක නිලධානී සහ සේවක සේවිකාවන් නිල නිවසේ ඔවුන්ට අදාළ රාජකාරිවල නියැළෙයි. මේ නිල නිවසේ තවත් අයෙක් සිටී. ඔහු ලැරී ය.

බ්‍රිතානය අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසේ ‘මූසික ආරක්ෂකයා’, තවත් පැහැදිලි කළොත් බ්‍රිතානය අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස මීයන්ගෙන් ආරක්ෂා කරන ආරක්ෂකයා වන්නේ මේ ලැරීය. ලැරී නිල නිවසේ වාසය කරන නිල බළල් සුරතලාය.

මේ වනවිට ලැරී ඩවුනිං වීදියේ අංක 10 ලිපිනයේ අග්‍රාමාත්‍ය නිල නිවසට පැමිණ වසර 15 ක් ගත වී ඇත. ලැරී, අග්‍රාමාත්‍ය නිල නිවසේ තම ආධිපත්‍ය පතුරුවා අවසන්ය.

විටින් විට මීයන් පමණක් නොව, පරෙවියන් පවා දඩයම් කරයි. අහළ පහළ සිටින වෙනත් බළලුන්ට අග්‍රාමාත්‍ය නිල නිවස අසලින් යෑමට පවා ලැරී ඉඩ දෙන්නේ නැත. ඒ සැමට ලැරීගේ ‘චණ්ඩි පාට්’ බැලීමට සිදුවෙයි.

ලැරී පළමුවෙන් අග්‍රාමාත්‍ය නිල නිවසට රැගෙන ඒම සිදුවූයේ, 2011 වසරේ පෙබරවාරියේය. ඒ, එදා බ්‍රිතානය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඩේවිඩ් කැමරන් සහ බිරිඳ සමන්තාය. ඩේවිඩ් කැමරන්  සහ බිරිඳට ලැරී හමුවී ඇත්තේ, , බළල් සුරතලුන්ගේ අනාථ නිවාසයක, නිවසක් නැතිව අසරණ වී සිටිද්දීය.

අද ලැරීගේ වයස අවුරුදු 19 කි. පසුගිය 15 වසර පුරා ලැරී, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරුන් 6 දෙනකු සමඟ අග්‍රාමාත්‍ය නිල නිවසේ වාසය කර ඇත.

එම හය දෙනා වන්නේ, ලැරීව අග්‍රාමාත්‍ය නිල නිවසට ගෙනා ඩේවිඩ් කැමරන්, තෙරේසා මේ, බොරිස් ජොන්සන්, ලිස් ට්‍රස්, රිෂී සුනාක් සහ වත්මන් අග්‍රාමාතළ්‍ය කීර් ස්ටාර්මර්ය.  අග්‍රාමාත්‍ය නිල නිවසේ ‘මූසික ආරක්ෂක’ තනතුරට බළල් සුරතලුකු පත් කිරීම අට වැනි හෙන්රි රජ දවස දක්වා දිව යන බව ද පැවැසෙයි.

1997 වසරෙන් පසු අග්‍රාමාත්‍ය නිල නිවසට බළල් සුරතලකු පැමිණි පළමු අවස්ථාව මෙයයි.

මාධ්‍ය වාර්තා ​පෙන්වා දෙන්නේ, 1989 දී එවකට අග්‍රාමාතයවරිය ලෙස කටයුතු කල මාග්‍රට් තැචර්, ‘හම්ප්‍රී’ නමැති බළල් සුරතලා ඩවුනිං වීදියේ අංක 10 ලිපිනයට ගෙනා බවය. ‘හම්ප්‍රී’1997 වසරේ දී විශ්‍රාම ගියේය. ඉන් වසර ගණනාවකට පසු අංක 10 ලිපිනයට පැමිණියේ ලැරීය.