(අංජුල මහික වීරරත්න)

ගෝලීය හෙපටයිටිස් තුරන් කිරීමේ සංවිධානය (Coalition for Global Hepatitis Elimination - CGHE) විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 වසරේ හෙපටයිටිස් තුරන් කිරීමේ ශූරයන් අතරට ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ (NSACP) විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය තේරී පත්ව ඇත.

ජූලි 28 වන දිනට යෙදෙන ලෝක හෙපටයිටිස් දිනයට සමගාමීව මෙම තේරී පත්වීම ප්‍රකාශයට පත් කර ඇති අතර, හෙපටයිටිස් තුරන් කිරීම සඳහා කැපවීම, මහජන දැනුවත්භාවය, ප්‍රතිපත්ති සංවර්ධනය, සේවා සැපයීම සහ තාක්ෂණික නවෝත්පාදනයන් ඔස්සේ සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ලොව පුරා සිටින පුද්ගලයන් සිව්දෙනෙකු මෙම වසරේ ශූරයන් ලෙස නම් කර තිබේ. CGHE සංවිධානය සඳහන් කරන්නේ, ප්‍රජා මූලික සහ නව්‍ය සේවා ආකෘති හරහා අවදානම් ජනකොටස් වෙත සෞඛ්‍ය සේවා ළඟා කරවීම, හෙපටයිටිස් C රෝගීන් කල්තියා හඳුනා ගැනීම, ප්‍රතිකාර ආරම්භ කිරීම සහ සුවපත් වීමේ අනුපාතය ඉහළ නැංවීම සඳහා වෛද්‍ය සත්‍යා හේරත් (MBBS, MSc, MD) මහත්මිය ලබාදුන් දායකත්වය මෙම ඇගයීමට හේතු වූ බවයි.