(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව සහ ජපානය අතර මිත්‍රත්වය දිගුකාලීන සංස්කෘතික හා ආධ්‍යාත්මික බැඳීම්වලින් පෝෂණය වී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

නව සසාකාවා අනුස්මරණ  ශ්‍රී ලංකා–ජපන් සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමේ  අවස්ථාවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය  මේ බව සඳහන් කළාය. 

සසාකාවා අනුස්මරණ ශ්‍රී ලංකා–ජපාන සංස්කෘතික මධ්‍යස්ථාන බාරකාර මණ්ඩලය විසින් ආරම්භ කරන ලද මෙම සංස්කෘතික මධ්‍යස්ථානය, ශ්‍රී ලංකාව සහ ජපානය අතර සංස්කෘතික, අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ව්‍යාපෘතියකි.

නව  සසාකාවා අනුස්මරණ ශ්‍රී ලංකා - ජපාන සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම සනිටුහන් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී සමරු ඵලකය නිරාවරණය කිරීම සිදු කළාය.

ආරක්ෂක අමාත්‍යාංශය සහ සසාකාවා සාම පදනම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජපානයේ නිප්පොන් පදනමේ සභාපති යොහෙයි සසාකාවා මහතා ඉදිරිපිට දී සිදු කෙරිණ. 

මෙම අවස්ථාවට ජපානයේ ශ්‍රී ලංකා තානාපති  අකියෝ ඉසෝමාටා, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි, ජපානයේ නිප්පොන් පදනමේ සභාපති යොහෙයි සසාකාවා, සසාකාවා මධ්‍යස්ථාන භාරකාර මණ්ඩලයේ සභාපති ප්‍රේමලාල් ප්‍රනාන්දු මහත්වරු ද සහභාගී වූහ.