(අංජුල මහික වීරරත්න)

බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමට හැකි වන පරිදි නව පනතක් ගෙන එන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. ඉලෙක්ට්‍රොනික අධීක්ෂණය හරහා එම දඬුවම ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව කීවේ නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (19)පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී අධිකරණ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

අධිකරණ නඩු වේගවත් කිරීම අපේ රජය බලයට එන්න පෙර දුන් පොරොන්දු වලින් එකක්.උසාවි කියන්නේ නඩුකාරයන්ට පඩි ගන්නයි නීතිඥයන්ට හම්බ කරන්නයි තියෙන තැන් නොවේ.ඒව තියෙන්නේ ජනතාවට තමන්ගේ කාලය නාස්ති කරන්නේ නැතිව,මුදල් නාස්ති නොකර නඩු අසා ඉවර කිරීමටයි.සිවිල් සහ අපරාධ නඩු ලක්ෂ එකොළහක් පමණ මේ වන විට අධිකරණ වල තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කොපමණ කල් දැම්මාද කියනවා නම් ඊළඟ නඩු දිනය ලැබුණේ අවුරුද්දක් පැනලා.අලුත් අග්‍ර විනිශ්චකාරතුමා වැඩ බාර ගත් පසුව නඩු ගොනුවෙන ප්‍රමාණයට වඩා නඩු අවසන් වෙන ප්‍රමාණය වැඩියි.

මේ වන විටත් පාස්කු නඩුවට සහ අල්ලස් නඩු වලට වෙනම අධිකරණ තිබෙනවා. තව සති දෙකක් ඇතුළත උසාවි දෙකක් ලබාදෙන්නත් අලුත්කඩේ නව ගොඩනැගිල්ලක තව උසාවි පහක් ඇරැඹීමටත් කටයුතු කරනවා.

අපේ බන්ධනාගාර ඉදිකර තිබෙන්නේ 10500ක් ඇතුලේ තබා ගන්නයි.නමුත් අද වන විට 39000ක් එහි සිටිනවා.අපට ගැටලුව වී තිබෙන්නේ වැරදිකරුවන් වී සිටින දස දහසක සෙනඟ නොවේ.වැරදිකරුවන් නොවී සිටින 28000ක පිරිසයි.එයින් මත්ද්‍රව්‍ය භාවිතා කරන අය විසි දහසක් පමණ සිටිනවා.

මේ සඳහා අලුතින් පනතක් ගෙනෙන්නට අප කටයුතු කරනවා.රිමාන්ඩ් කරනවා වෙනුවට නිවාස අඩස්සියේ තැබීම එහි අරමුණයි.ඉලෙක්ට්‍රොනික අධීක්ෂණය හරහා එම දඬුවම ක්‍රියාත්මක කරනවා.එසේ වුවහොත් බන්ධනාගාර වල සෙනඟ අඩු කිරීමට අවස්ථාව ලැබෙනවා. යනුවෙන්ද අමාත්‍යවරයා කීය.