
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වසර නවයකට පසු පැවැත්වෙන උපසම්පදා විනයකර්මයට රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට රජය තීරණය කර තිබේ.
මෙම උපසම්පදා විනය කර්මය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වෙයි.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරි රාජකීය පණ්ඩිත, දර්ශනපති බලපිටියේ සිරිසීවලී නාහිමියන් පැවසූයේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස උපසම්පදා භික්ෂූන් වහන්සේගේ යුගයේ අවශ්‍යතාව පිළිගෙන ඊට රාජ්‍ය අනුග්‍රහය දැක්වීම පිළිබඳව රජයට ප්‍රශංසා කරන බවයි.
සිරිසීවලී නාහිමියන් මේ බව සඳහන් කළේ අමරපුර මහා නිකායේ රාජ්‍ය උපසම්පදා මහෝත්සවය පැවැත්වීම සම්බන්ධව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා විනයකර්මය ලබන ජූලි 9 වැනිදා සිට 25 වැනිදා දක්වා 400කට අධික සාමණේර හිමිවරුන්ගේ සහභාගීත්වයෙන් කළුතර බෝධිය අභියස පිහිටි උදකුක්ඛේප සීමා මාලකයේදී සිදුකිරීමට නියමිතය.
ඒ හා සමගාමීව රාජ්‍ය උපසම්පදා මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජුලි 09 වනදා සවස 3.00 ට කළුතර බෝධිය අභියසදී පැවැත්වේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවාරි මස 1 වැනිදා ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානාහිමි බැහැ දැක නව වසරට ආශීර්වාද ලබා ගැනීමට ගිය අවස්ථාවේදී නාහිමියන් කළ ඉල්ලීමකට අනුව අමරපුර මහා නිකායේ උපසම්පදා මහෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට සැලසුම් කර ඇත.
ඒ අනුව ජනාධිපති කාර්යාලයේ මැදිහත් වීම මත රාජ්‍ය ආයතනවල, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ, පෞද්ගලික ආයතන ගණනාවකගේ සහාය ඇතිව අමරපුර මහා නිකායේ උපසම්පදා විනයකර්ම මහෝත්සවය පැවැත්වීමේ සංවිධාන කටයුතු සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරි අහංගම මෛත්‍රීමූර්ති , සහකාර ලේඛකාධිකාරී අම්බලන්ගොඩ සුමේධානන්ද , සහකාර ලේකම් නිදහස්ගම කල්‍යාණසිරි හිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd