(විනීතා එම් ගමගේ)
රටේ කෘෂිකර්මය විනාශයට ඇද දමන මාෆියා 5ක් ඇතැයි කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
වී, සහල්, එළවළු, බීජ හා පොහොර එම මාෆියාවන් පහ යැයි පෙන්වා දෙන අමාත්‍යවරයා මෙම මාෆියාවන් මෙරට කෘෂිකර්මයේ අනාගතය විනාශ මුඛයට ඇද දමමින් සිටින බව ද පවසයි.
ආනයන ආර්ථිකය වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමේ අරමුණට මෙකී මාෆියාවන්ගෙන් විශාල බාධාවක් එල්ල වී ඇතැයි කී අමාත්‍යවරයා ඊට එරෙහිව උඩුගං බලා පිහිනීමට සිදුව ඇතැයි ද කියා සිටියේය.
කෘෂිකර්ම අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ බතලගොඩ වී පර්යේෂණ ආයතනයේ පැවැති කෘෂිකර්ම උපදේශකවරුන් පුහුණු කිරීමේ වැඩමුළුවක දී අදහස් දක්වමිනි.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පර්යේෂණ හා තාක්ෂණය අතින් එංගලන්තයට වඩා දියුණු වුවත් ශ්‍රී ලාංකික ගොවීන් තවමත් සිටින්නේ වසර සියයක් පමණ පැරණි කෘෂිකර්මාන්ත ක්‍රමයක යැයි ද කියා සිටියේය. මේ නිසාම වගා සහය ඉල්ලා එන ඉල්ලුම් පත්‍ර වලට වඩා දිනපතා ලැබෙන්නේ කුඹුරු පිරවීමට අවසර ඉල්ලා එවන ඉල්ලුම් පත්‍ර යැයි ද අවිධිමත් පොහොර භාවිතය බරපතල හානි රටට ගෙනැවිත් ඇතැයි ද ඔහු එහි දී පෙන්වා දුන්නේය.
අවිධිමත් පොහොර භාවිතයෙන් හා රසායනික පොහොර භාවිතයෙන් අන්ධ දරුවන් 30 දෙනෙක් පමණ මසකට උපත ලබන බව පෙන්වා දුන් අමාත්‍යවරයා දිනපතා වකුගඩු රෝගීන් හා දියවැඩියා රෝගීන් ඇතුළු බෝ නොවන රෝග වැඩිවීමේ හේතුව ද මෙම අවිධිමත් පොහොර භාවිතය යැයි ද පෙන්වා දුන්නේය.
පොහොර ආනයනයට ව්‍යාපාරිකයන් උනන්දු වන්නේ එහි ඇති විශාල කොමිස් මුදල නිසා යැයි ද ආහාර ආනයනය ගැන කිවයුත්තේ ද එයම යැයි ද පෙන්වා දුන් අලුත්ගමගේ මහතා ඊට එරෙහිව යන ගමන අරඹන්නට කෘෂිකර්ම උපදේශකවරුන් දැනුමෙන් සන්නද්ධ කිරීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කළ බව ද කියා සිටියේය.
බතලේගොඩ, අඟුණකොල පැලැස්ස, පුලියන්කුලම, මහඉලුක්පල්ලම හා බිඳුණු වැව යන කෘෂි පුහුණු පාසල්වල දී කෘෂි උපදේශකවරුන් දහසක් පුහුණු කරන බවත් ගොවිජන සේවා නිලධාරින් ද, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින් ද අනතුරුව පුහුණු කරන බව ද පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාෆියාවල් වලට බයේ නාහෙන් අඬන්නේ මොකද? අපි අවශ්‍ය 2/3 බලා දීලනේ තියෙන්නේ... කළින් හිටපු ලොකු මහත්තයත් ඔහොම උදේම නැගිටලා තමන්ගේ බැරිකම වහගන්න කාටහරි බණිනවා.
කෘෂිකර්මයට හෙන ගහලා තියෙන්නේ නූගත් දේශපාලුවන් ඇමැතිවරුන් වෙලා ඉන්න නිසයි... වෙන මුකුත් නිසා නම් නෙවෙයි.
අලුත්ම දූෂණ නැතිකර හොඳ රටක් සෑදීමට පෙරට ආ වීරයා. හැබැයි මිනිහගේ වැඩකිඩ දැක්කාම වමනේ යනවා...
ලොකුම මාෆියාව දේශපාලන මාෆියාව තමයි...!!!
පුදුමයි කියන්නේ දේශපාලකයෙක් මාෆියාවක් ගැන කතා කරන එකනේ.
හොඳ, බුද්ධිමත්, මොලේ තියෙන හොරකම් කරන්නේ නැති කෙනෙක් දාන්නකෝ ඔය ඇමැති ධුරයට...? ඊට පස්සේ බලමු ඕක දියුණු කරන හැටි..
එහෙමනම්, වත්මන් ජනාධිපති මේ මාෆියාකාරයින්ට බයද? බලයට එනකොට කිව්වා නේද මේ ජනාධිපති කෙලින් වැඩකරනවා, දැඩි තීන්දු තීරණ ගන්නවා. දැන් මෙයා කියනවා මේ මාෆියාවලට යටත් වැඩ කරන්න වෙලා කියලා. මෙහෙම කියනවා නම්, ඇමති කෙනෙක් අවශ්‍යද?
2/3 මදිද ඔය මාෆියාව මඩින්න?
ඇයි දේශපාලකයින්ගේ කොමිස් මාෆියාව....?
නිදහස ලැබූදා සිට කටින් බතල සිටුවීමේ විපාකයයි මේ... මේ ඇමතිතුමාත් පුටුවෙන් යන දවසට ඔච්චරමයි...
ලොකුම මාෆියාව 225ක් වෙන ඔහේලා...
අනේ අම්මපා "අයිසෙක් නිව්ටන් උන්දැටත් වැලේ වැල් නැති වෙන සොයා ගැනීමක්නේ මේ ගොයියා හොයාගෙන... තියෙන්නේ...!!!
කයිවාරු ගැහැව්වාට තමනුත් එකතරා විදියක දූෂිත දේශපාලන මාෆියාවක් තමයි.
ඔය මාෆියාවලට මුහුණ දෙන්න තමයි අපි සර් පත්කරලා 20වැනි සංශෝධනය ගෙනාවේ.. අයියෝ තාම නහයෙන් අඬනවා.
ඕවා සරල හේතු ගොවියාට මිලක් නොලැබීම සහ ඒ සඳහා යාන්ත්‍රණයක් නැති නිසයි සියලු ක්ෂේත්‍ර බිඳ වැටිලා තියෙන්නේ... පසු අස්වනු තාක්ෂණයත්, බීජ මාෆියාවත්, කෘෂි රසායන මාෆියාවත්, අතරමැදියන් පාලනය කරගත නොහැකිව්වෙමත් වගේම නාස්තිය ප්‍රධාන හේතු ඊට අමතරව ජලය නොමැතිකම ශ්‍රම හිඟය භූමියේ සීමිත බව වනසත්ව හානි, ස්වභාවික ආපදා, ගංවතුර හා නියං තත්වයත් මෙයාට බලපානවා.
අනේ මෙහෙමත් ඇමැතියෝ... අපේ සල්ලි කන කාලකණ්ණි වැඩනේ කරන්නේ.