(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ තාක්ෂණික හැකියා, දැනුම සහ මානව ප්‍රාග්ධනය සංවර්ධනය කරමින් ආයෝජකයන් සඳහා අවස්ථා නිර්මාණය කරන දිගුකාලීන හවුල්කාරීත්වයක් ගොඩනැගීම රජයේ අරමුණ බව  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කීවාය.

අග්‍රාමාත්‍යවරිය මේ බව කීවේ කොළඹ දී පැවති ගෝලීය ප්‍රධාන තොරතුරු නිලධාරීන්ගේ සමුළුවට (Global CIO Forum) සහභාගී වෙමිනි.

සැප්තැම්බර් 22 සිට 24 දක්වා පැවැත්වෙන මෙම සමුළුව මගින් රජයන්, තාක්ෂණික ව්‍යාපාර ක්ෂේත්‍රයේ සහ ඩිජිටල් පරිවර්තනය හා සම්බන්ධ ප්‍රධාන පෙළ තොරතුරු තාක්ෂණික නිලධාරීන් (CIOs) සමඟ කෘත්‍රිම බුද්ධිය, සයිබර් ආරක්ෂාව, ඩිජිටල් පොදු යටිතල පහසුකම්, ක්ලවුඩ් තාක්ෂණයන්, තිරසර නවෝත්පාදනය සහ ඩිජිටල් නායකත්වයේ අනාගතය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මට්ටමින්  අවස්ථාවක් නිර්මාණය කරයි.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය  ඩිජිටල් පරිවර්තනය ශ්‍රී ලංකාව සඳහා හුදෙක් තාක්ෂණික න්‍යාය පත්‍රයක් නොවන අතර, එය රටේ පුළුල් ආර්ථික හා සමාජ පරිවර්තනයේ අත්‍යවශ්‍ය අංගයක් බව සඳහන් කළා ය.

එමෙන්ම වඩාත් ඵලදායී, කාර්යක්ෂම සහ සියලු දෙනා ඇතුළත් ආර්ථිකයක් ගොඩනැගීම  සඳහා රජය දරන ප්‍රයත්නයන්වල ප්‍රධාන ඉලක්කයක් ලෙස ඩිජිටල් පරිවර්තනය තබා ඇති බවත්, අනාගත ආර්ථික වර්ධනය ළඟා කර ගැනීම සඳහා ගනු ලබන ප්‍රධාන පියවරක් ලෙස තාක්ෂණය හඳුනා ගනිමින් ඩිජිටල් අපනයන ක්ෂේත්‍රයේ ඇමෙරිකා ඩොලර් බිලියන පහක් දක්වා සංවර්ධනය කිරීමේ ඉලක්කයක් පවතින බවත් අග්‍රාමාත්‍යවරිය  සඳහන් කළාය.