(යොහාන් භාසුර)

ප්‍රමිතිය සම්බන්ධ ගැටළුවක් හේතුවෙන් රේගු භාරයේ පවතින වියළි මිරිස් කන්ටේනර් 120කට ආසන්න සංඛ්‍යාව කඩිනමින් නිදහස් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කළ බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ උසස් නිලධාරියෙක් 'ලංකාදීප'යට පැවසීය.

අවශ්‍ය ලියකියවිලි, රේගු බදු ගෙවීම් සහ පරීක්ෂණ කටයුතු අවසන් කර තිබුණද ප්‍රමිති ගැටලු මත එම කන්ටේනර් 120ක් පමණ රඳවාගෙන ඇති බවත් මෙම තත්වය හේතුවෙන් වියළි මිරිස් කිලෝවක තොග මිල රුපියල් 2,000 දක්වා ඉහළ ගොස් ඇති අතර කඩිනමින් මෙම මිරිස් තොගය නිදහස් නොකළහොත් තොග මිල රුපියල් 2,500 දක්වා ඉහළ යාම වැළැක්විය නොහැකි බවත් එම නිලධාරියා කීය.

මෙම තත්වය මත මිරිස් කුඩු නිෂ්පාදන කර්මාන්තශාලා වැසී යාමේ අවදානමක් පවතින බව කී අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය එම නිලධාරියා පැවසුවේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්ණායකයන්ට අනුව ආනයනික වියළි මිරිස්වල තෙතමන සියයට 12 ට වඩා අඩු විය යුතු යන නිර්ණායකය මෙම ගැටලුවට හේතු වී ඇති බවත්ය.

කෙසේ වෙතත් තෙතමනය ඉහළ මට්ටමක පැවතීම සහ ඇෆ්ලටොක්සින් වැනි අහිතකර සංඝටක අඩංගු වීම හේතුවෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ආහාර පරීක්ෂණ අධිකාරිය සහ ශාඛ නිරෝධායන සේවය මෙම මිරිස් තොගය නිදහස් කිරීමට අනුමැතිය දී නොමැත.

එම කන්ටේනර්වල ඇති මිරිස් තොගයේ ප්‍රමිතිය අසමත් වීම හේතුවෙන් ප්‍රමිතියෙන් තොර මිරිස් තොග කිසිසේත්ම නිදහස් නොකරන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

ප්‍රමිතියෙන් යුතු මිරිස් ආනයනය කිරීම ආනයනකරුවන්ගේ වගකීමක් බවත් කෘත්‍රිම හිඟයක් මවා පෑමට ඉඩ නොදෙන බවත් වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශක කළේය.