(සුජිත් හේවාජුලිගේ)

පාඩු ලබන මත්තල ගුවන්තොටුපොළේ විවිධ ආයෝජන කටයුතු සඳහා දෙස් විදෙස් ආයෝජකයන් 19 දෙනෙකු අභිලාෂ ඉදිරිපත් කර ඇතැයි වරාය සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා ලංකාදීපයට පැවසීය.

මේ අයගෙන් මිල ගණන් ඇතුළු සියලු විස්තර ඇතුළත් ආයෝජන යෝජනා කැඳවීමට කටයුතු සූදානම් කර ඇතැයි ද අමාත්‍යවරයා කීය.

හොඳම ආයෝජන යෝජනා සඳහා ඉඩකඩ සලසා දීම මෙහි අරමුණ බව කී අමාත්‍යවරයා ආයෝජන යෝජනා සම්බන්ධයෙන් පොදු ආකෘතියක් සකස් කරන බවද සඳහන් කළේය.

මත්තල ගුවන් තොටුපොළ රටට බරක් නොවන තත්ත්වයට පත්කිරීමේ රජයේ සහ ජනාධිපතිවරයාගේ අපේක්ෂාව අනුව තමා කටයුතු කරමින් සිටින බවද අනුර කරුණාතිලක මහතා කීවේය.

මත්තල ගුවන් තොටුපොළේ ගුවන්තොටුපළ මෙහෙයුම් ගුවන් යානා අලුත්වැඩියා, ගුවන් පුහුණු පාසල සහ අවට අනෙකුත් කටයුතු සඳහා මෙසේ ආයෝජන යෝජනා කැඳවනු ලැබේ.

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දිනකට රුපියල් ලක්ෂ හැටත් හැත්තෑවත් අතර දැවැන්ත පාඩුවක් ලබයි.