තථාගතයන් වහන්සේ විසින් දේශනා කරනලද නෛර්යාණික වූ ශ්‍රී සද්ධර්මයට අනුව ආසන්න වූ දිනයක ලෝක විනාශයක් හෝ කල්ප විනාශයක් කිසිසේත්ම සිදු විය නොහැක. මේ මහා සාදු කල්පයේ කකුසඳ, කෝණගමන, කාශ්‍යප, ගෞතම නම්වූ සම්බුදුවරයන් වහන්සේලා පහළ වූහ. ගෞතම සම්බුදු සසුන නොනැසී පවත්නා කාලයයි මේ. මෛත්‍රිය සම්බුදු රදුන් පහළ වන්නේද මේ මහා භද්‍ර කල්පයේ ම ය. ඒ කල්ප විනාශයක් හෝ තවත් වසර බිලියන ගණනක් යනතුරු ලෝක විනාශයක් හෝ කිසිසේත්ම සිදු නොවේ.
ස්වභාවික පරිසරයේ සිදුවන විවිධ වෙනස්කම් හේතු කොටගෙන විවිධ අයුරින් යම් යම් කාල වලදී ස්වභාවික විපත්තීන් සිදු වේ. ඒවා අප රටට පමණක් නොව, ලෝකයේ බොහෝ රටවල් වලට බලපාන දෙයකි. 2004 වර්ෂයේ ලංකාවට මෙන්ම රටවල් කිහිපයකටම බලපෑ සුනාමි ව්‍යසනය හේතුවෙන් සිදුවූ ජීවිත හානි හා දේපල හානි ප්‍රමාණ කළ නොහැක. පෙර කැළණි තිස්ස රාජ්‍ය කාලයෙහි සිදුවූ මුහුද ගොඩගැලීමක් පිළිබඳව ඉතිහාස පොත පතින් දැනගෙන තිබූ නමුත් එබන්දක් කෙසේ නම් සිදු වී දැයි විශ්වාස කිරීමට මැළි වූ අය 2004 වර්ෂයේ සිදුවූ විපතින් පසු ප්රත්යක්ෂ වශයෙන් අවබෝධ වූ නිසා එබඳු විපත් සිදුවන බවට විශ්වාස කළහ.
එබඳු විපත් පමණක් නොව සුළි සුළං, අධික වර්ෂාව හේතුකොටගෙන ඇති වන නාය යෑම්, ගංවතුර ආදී විපත් හා අධික නියඟය නිසා ඇතිවන විවිධ දුර්භික්ෂ ආදී ස්වභාවික විපත්වලට මුහුණ පාන්නට සිදු වීම වර්තමානයේ පමණක් නොව අතීතයේද සිදු වූ දෙයකි. අනාගතයටද ඒවා පොදු වූ ධර්මතාවයන්ය.
පසුගිය දින කිහිපයක් පුරා සිදු වූ ග්‍රහ වස්තූන්ගේ පිහිටීමේ යම් යම් වෙනස්කම් හේතුවෙන් උල්කාපාත වැටීමේ ආදී විවිධ සිදුවීම් පිළිබඳ අදාළ විද්‍යාඥයින් විසින් කරුණු කාරණා ගෙන හැර පාමින් ප්‍රකාශ කළේ සාමාන්‍යයෙන් එබඳු සිදුවීම් සිදුවන බවයි.
මේ සිදුවීම් අසා ඒවා තුළ පිහිටා මේ ලෝක විනාශයෙහි පෙර නිමිති යැයි කිසි ලෙසකින්වත් අනිසි බියක් ඇතිකර ගතයුතු නැත. අප විසින් සත්ත සුරියුත්ගමන සූත්‍රය ඇසුරෙන් අනාගතයේ යම් දවසක ලෝක විනාශය සිදු වන අයුරු පැහැදිලි කරන ලදී.
කෙසේ නමුත් මිනිසා ධර්මයෙන් ඈත්ව අධාර්මික ජීවිත ගත කරන විට දෙවියන්ගේ අනුකම්පාව එබඳු අයට නොලැබේ. ස්වභාවික පරිසරයට මිනිසා විසින් සිදුකරනු ලබන විවිධ වූ බාධාවන්ද හානිකර ස්වභාවයන්ගේද අඩුවක් නම් දක්නට නොලැබේ.
තමා තමාටම පිහිට කොට පවතින ලෙසට භාග්‍යවතුන් වහන්සේ විසින් මනාව කරුණු ගෙන හැර දක්වන සූත්‍ර ධර්මයක් සූත්‍ර පිටකයේ සඳහන් වේ. ඒ දීඝ නිකායේ එන චක්කවත්ති සීහනාද සූත්‍රයයි.
භාග්‍යවතුන් වහන්සේ මගධ රට මාතුලා නම් ගමෙහි වාසය කරන කල්හී එක් දිනක් භික්ෂූන් වහන්සේලා අමතා ”මහණෙනි තමා තමාටම පිහිට කොට වාසය කරන්න. අන් අයගේ පිහිටක් නොපතන්න. ධර්මය පිහිට කොට වාසය කරන්න” යනුවෙන් අවවාද කළහ. මේ උතුම් සම්බුදු සසුනෙහි කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චින්තානුපස්සනාව, ධම්මානුපස්සනාව යන සතරසතිපට්ඨාන ධර්මය අනුව බලමින්, කෙළෙස් තවන වීර්යයෙන් යුක්තව, සිහිනුවණින්, ලෝකයෙහි ඇල්ම හෙවත් ලෝකාමිසය දුරලා මානසික ඒකාග්‍රතාවයෙන් යුතුව වාසය කිරීම නම් ධර්මය පිහිට කොට ගෙන වාසය කිරීමයි. මෙසේ කුසල් දහම්හී හැසිරීමෙන් පින් වැඩෙන බව ද දක්වා තිබේ.
පෙර ”දල්හනේම්” නම් වූ සක්විති රජු කාර්මිකව සප්ත රත්නයන්ගෙන් හා මහත් බල ඇති දහසක් පුතුන්ගෙන් යුක්තව සතර දිශාවට අධිපතිව රාජ්‍යය පාලනය කළේය. මෙසේ අවුරුදු දහස් ගණනක් රාජ්‍යය කරන කල්හී චක්‍රරත්නය තිබූ තැනින් වෙනස් වී ඇති බව දැක තම පුතුට රාජ්‍යය පවරා වනගතවී පැවිදි විය. රජු පැවිදි වී දින හතරකින් චක්‍රරත්නය නොපෙනී ගිය බැවින්, සක්විති වත් පුරමින් ඒ අනුව රාජ්‍ය පාලනය කරන කල්හී චක්‍රරත්නය නැවත පහළ වන බවත් ඒ අනුව රාජ්‍ය කරන ලෙසට අවවාද කරයි.
සක්විති වත් මෙසේය.
1. ධර්මයෙහි පිහිටා ධාර්මිකව අඹුදරුවන් සමඟ සීලවන්ත ජීවිතයක් ගත කිරීම
2. තමාගේ බල සෙනඟ ධර්මයෙහි හැසිරවීම
3. ක්ෂත්රිය ජනයා ධර්මයෙහි පිහිටුවීම
4. බ්‍රාහ්මණ ජනයා ධර්මයෙහි පිහිටුවීම
5. ජනපදවාසීන් ධර්මයෙහි පිහිටුවීම
6. මහජන බමුණන් ආරක්ෂා කිරීම
7. සිව්පාවුන් හා පක්ෂීන් ඇතුළු සතුන් ආරක්ෂා කිරීම
8. තම රාජ්‍යයෙහි අධර්ම ක්‍රියා කිරීමට ඉඩ නොදීම
9. තම රාජ්‍යයෙහි වාසය කරන දුප්පතුන්ට ධනය දීම
10. සිල්වත් මහණ බමුණන් කරා ගොස් ඔවුන්ගෙන් අවවාද ලබාගැනීම
මෙසේ දස සක්විතිවත් පුරණ ඔහුට ද චක්‍රරත්නය පහළවී ධාර්මිකව රාජ්‍යය පාලනය කළේය. රජවරු හත් දෙනෙකු දක්වා බොහෝ කාලයක් මෙසේ සක්විති වත් පුරා දැහැමෙන් පෘථිවි තලයම පාලනය කරන ලදී.
අටවන ක්ෂත්රීය රජු සක්විතිවත් පිරූ නමුත් දිළින්දන්ට ධනය නොදුන් නිසා රාජ්‍යයෙහි දිළිඳු බව වැඩි විය. එක් දිළින්දකු ධනය නොමැති නිසා අනුන් සතු වස්තුවක් සොරකම් කොට රජුට හසුවූ විට දිළිඳු බව නිසා මෙබන්දක් කළ බව දැන ඔහුට ධනය දී පිටත් කළේය. තවකෙක්ද සොරකම් කොට රජුගෙන් ධනය ලබා ගත්තේය. මෙය පුරුදු වී තවත් අය සොරකම පටන් ගත් නිසා ඔවුන් අල්ලා දඬුවම් ලෙස හිස ගසා මරා දමන ලෙසට රජු අණ කළේය. එකල්හි රටවැසියෝ රජුට විරුද්ධව අවි ආයුධ ගෙන කළ කෝලාහල කළහ.
මෙසේ දුප්පත්කම නිසා සොරකමද, එයින් ප්‍රාණඝාතයද වැඩි විය. ප්‍රාණඝාතය නිසා මිනිසාගේ ආයුෂ පිරිහෙන්නට පටන් ගත්තේය. දිළින්දන්ට ධනය නොදීම හේතුවෙන් සොරකම, ප්‍රාණඝාතය, බොරු කීම ඇතිවී අසූ දහසක්වූ ආයුෂ හතළිස් දහසටද එයින් පසු විසිදහසකටද එයින් දස දහසකටද ක්‍රමයෙන් පන් දහස, දෙදහස් පන්සියය, දහස, පන්සියය, දෙසිය පනහ දක්වාම ක්‍රමයෙන් අඩු විය.
මේ වන විට මිනිසුන් තුළ සොරකම, ප්‍රාණඝාතය, බොරුකීම, පරදාර සේවනය, කේළාම් කීම, දැඩි ආශාව, ක්‍රෝධය, ලෝභය, පරුෂ වචන කීම, ස්වකීය මව්පිය නෑදෑ දූ දරුවන් කෙරෙහි රාග සිත් ඇති වීම, හිස්වචන කීම, රහමෙර පානය ආදී අනේක විධ අකුසල ක්‍රියා බහුල විය. එහිදී මිනිසාගේ ආයුෂ සියයටද අඩුවිය. පසුව යම් කලක පරම ආයුෂ අවුරුදු දහය දක්වාම අඩුවේ.
එකල්හි සියලූ රස නීරස වී, කුරහන් අග්‍ර භෝජනය වේ. කුසල් දහම් පිරිහී, අකුසල් හා දුරාචාරය වැඩිවේ. පාපයම ප්‍රධාන වේ. දස අවුරුදු පරම ආයුෂ ඇති කල්හී අවි ආයුධ ගත් අතැතිව, මව්පිය දූ දරු ඥාතී හිත මිත්‍ර කිසිදු දැන හැඳිනීමකින් තොරව ඔවුන්නොවුන් ඇන කොටා මරා ගන්නා තත්ත්වයට පත්වේ. මේ නම් මෘත සංඥාව පහළ වීමයි.
මේ අයුරින් මහත් ලෙස මිනිසුන් මැරෙන විට මිනිසුන්ට ප්‍රාණඝාතයෙහි ආදීනව වැටහීමෙන් යහපත් සිතිවිලි හට ගනී. එතුළින් සුචරිතයෙහි හැසිරීම නිසා නැවතත් මනුෂ්‍යයාගේ පරම ආයුෂ ක්‍රමයෙන් වර්ධනය වී විසි දහසක් බවට පත්වේ. තව තවත් කුසල් දහම්හී හැසිරීම හේතු කොටගෙන පෙර මෙන්ම අසූ දහස දක්වා ආයුෂ වර්ධනය වේ. එකල්හී දඹදිව කේතුමතී නම් රාජධානියෙහි පහළ වන සංඛ නම් සක්විති රජු පෙර මෙන් දැහැමින් දඬුවමින් තොරව මේ මහා පෘථිවි තලය පාලනය කරන්නේය. එකල්හී මේ මහා භද්‍ර කල්පයේ අවසන් වරට පහළ වන මෛත්‍රිය සම්බුදුරජුන් පහළවී චතුර්යාර්ය සත්‍ය ධර්මය දේශනා කොට දෙවි මිනිසුන් සසර දුකින් එතෙර කරලන්නේය.
මෙම සූත්‍ර දේශනාවේ පැහැදිලි වන පරිදි මනුෂ්‍යයින්ගේ ආයුෂ පිරිහීම ක්‍රමයෙන් සිදුවන බව දක්නට ලැබේ. වර්තමානයෙහි අවුරුදු සියයක් හෝ අඩු වැඩි ආයුෂයක් භුක්ති විඳින අය දුර්ලභ ය. අවුරුදු හැට හැත්තෑව දක්වාම පරම ආයුෂ අඩු වී ඇත. මෙසේ ක්‍රමයෙන් තවත් කාලයක් ගත වන විට අවුරුදු දහය දක්වාම මේ ආයුෂ පිරිහේ. සූත්‍ර දේශනාවේ සඳහන් වන පරිදිමය.
මෙයට ප්‍රධාන හේතුව සූත්‍ර දේශනාවේ සඳහන් වන පරිදි පඤ්චශීල ප්‍රතිපත්තියෙන් ඈත්වී විවිධ පහත්, ලාමක ක්‍රියාවන්ට පුරුදු වී සිටීමයි. කායික සංවරබව, වාචසික සංවර බව, මානසික සංවර බව නොමැතිව සිදු කරන පාපී ක්රියාවන්ය. පාසල් දරුවන් පවා විවිධ වූ පහත් ක්‍රියා දැකීමෙන්, අත්හදා බැලීමෙන් රාගී සිත් උපදවා ගෙන විවිධ අපරාධ දූෂණ ආදිය සිදු කරන බව බොහෝ කොට දැකිය හැකිය.
එබැවින් වහාවහාම ධර්මයට නැඹුරුවන්න. පඤ්චශිලී ප්‍රතිපත්තියට අනුගතවන්න. කුසල් දහම් පූරණය කරන්න. ඔබට ඒකාන්ත වශයෙන්ම ධර්මයෙහි පිහිට ලැබෙන්නේය. ”ධමෙමා හවෙ රඣති ධර්මාචාරී”
තෙරුවන් සරණයි!
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බෞද්ධ දර්ශණයට අනුව ලෝක විනාශයක් කිසිසේත්ම සිදුවිය නොහැක
රිස්වාන් - සවුදි Friday, 21 December 2012 04:44 PM
ලෝකය විනාශ වන දිනය ගැන දේව දුතයෙක් මොහම්මඩ් නබි තුමාගෙන් ඇසුවිට එතුමාගේ පිළිතුර වුයේ එය දන්නේ අල්ලාහ් දෙවියන් පමණක් බවයි. ඉස්ලාම් ධර්මය අනුව එය කිසිම මිනිසෙකුට කිව නොහැක. (නි)
චමිල් Saturday, 22 December 2012 12:09 PM
මෙම ලිපිය පිළිබදව ඉතාම සතුටුයි. (නි)