(උපාලි ආනන්ද)

අනවසරයෙන් ප්‍රෙටල් ලීටර් 48 ක් තම නිවසේ රහසිගතව සඟවා තබාගෙන මුදලට අලෙවි කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගත් කාන්තාවක ලබන 31 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි  නිකවැරටිය වැඩ බලන මහේස්ත්‍රාත් ජේ. එම්. විමලසේන මහතා අද (28) නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කලේ නිකවැරටිය, හුලුගල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. බී වාර්තාවක් මගින් සැකකාරිය  පෙට්‍රල් ලීටර 48 ද සමග අධිකරණය ඉදිරිපත් කළේය.

එදිනට සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද ගිරිල්ල පොලිසියට නියෝග කලේය.

සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් පෙට්‍රල් සඟවාගෙන අලෙවි කරන බවට ලද තොරතුරක් මත අදාල නිවස වැටලු බව පොලිසිය අධිකරණයට දැන්වීය.

එම අවස්ථාවේ සැකකාර කාන්තාව සමග ඇගේ සැමියා ද නිවසේ සිටි බවද අධිකරණයට කියා සිටි පොලිසිය නිවස සෝදිසි කර සඟවා තිබු පෙට්‍රල් ලීටර් 48 පොලිස් භාරයට ගත් අවස්ථාවේ සැකාරියගේ සැමියා නිවසින් පලාගොස් ඇති බවද සඳහන් කළේය. පලා ගිය සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීමට ඇති බැවින් සහ සිද්ධිය සමිබන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙන බැවින්ද සැකකාරිය රිමාන්ඩ්භාරයේ තබන ලෙසට පොලිසිය ඉල්ලා සිටියේය.

සැකකාර කාන්තාව වෙනුවෙන් පෙනි සිටි නීතීඥ උදයංග අතපත්තු මහතා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ තම සේවාදායිකාව පෙට්‍රල් ලීටර් 48 ක් නීති විරෝධීව තබා ගත් බවට චෝදනා කරමින් අධිකරණයට ඉදිරිපත් කරන්නේ නීතියේ පවතින කුමන ප්‍රතිපාදන යටතේ කුමන වගන්තිය යටතේ ද යන්න ගිරිල්ල පොලිසිය මේ වන තුරුත් නොදන්නා බවයි.

1979 අංක 34 දරණ ඛණිජ තෙල් නිෂ්පාදන සැපයුම විධිමත් කිරීමේ හා පාලනය කිරීමේ පනතේ ප්‍රතිපාදන අනුව, පෙට්‍රල් පරිභෝජනය කරන පාරිභෝගිකයකුට පෙට්‍රල් සන්තකයේ තබා ගැනීමට නීතිමය බාධාවක් නොමැති බවද සඳහන් කළේය.