(අංජුල මහික වීරරත්න)

ජාතික පෝෂණ මාසය නිමිත්තෙන් සෞඛ්‍ය සම්පන්න පාසල් ආපන ශාලා පිළිබඳ මාර්ගෝපදේශ  එළි දක්වා තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සෑම වසරකම ජූනි මාසය ජාතික පෝෂණ මාසය ලෙස නම් කරමින් ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. ජාතික පෝෂණ මාසය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශය විසින් සංවිධානය කළ ජනතාව දැනුවත් කිරීමේ 2026 වසරේ සැමරුම් වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

එහි දී දරුවන්ට පාසල් ආපන ශාලා වලින්  සපයන අහාර නිසි පෝෂණයෙන්, සෞඛ්‍යාරක්ෂිතව සහ දැරිය හැකි මිලකට සපයන ‘සිසු හිතකාමී පාසල් ආපනශාලා නිර්මාණය කිරිම හා පවත්වාගෙන යාම’ අරමුණු කරගෙන සම්පාදිත “සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා පිළිබඳ මාර්ගෝපදේශය” සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහි දී එළිදක්වනු ලැබීය.

මෙම  මාර්ගෝපදේශය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ තාක්ෂණික දායකත්වය යටතේ සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් එළිදක්වන්නකි. ප්‍රධාන අරමුණු 5කට අදාළ ප්‍රතිලාභ අපේක්ෂාවෙන් මෙම මාර්ගෝපදේශය එළිදැක්වු අතර එම කරුණු අතර නිසි පෝෂණයෙන් යුතු, බෝ නොවන රෝග අවදානමින් මිදුණු නිරෝගී පාසල් දරු පරපුරක් රටට දායාද කිරීම,පාසල් සිසුන්ට රසවත්, පෝෂ්‍යදායී සහ සෞඛ්‍ය සම්පන්න ආහාර සැපයීම, පාසල් ළමුන් අතර සෞඛ්‍ය සම්පන්න ආහාර පිළිබඳ නිවැරදි ආකල්ප ඇති කිරීමට දායක වීම තුළින් නිවැරදි ආහාර පුරුදු හා හැසිරීම් ඇති කිරීම,සෞඛ්‍ය සම්පන්න ,නිවැරදි ආහාර පුරුදු පාසල් දරුවා මඟින් සමාජගත කිරීම,ආපනශාලා නිසි පරිදි පවත්වාගෙන යාම සහ සනීපාරක්ෂාව සහතික කිරීම යන කරුණු ඇතුලත්ය.