(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

එල් නිනෝ  සහ ලා නිනා  සංසිද්ධීන් හී බලපෑම්වලින්  ශ්‍රී ලංකාවේ සාගරික ජෛව විවිධත්වය හා උභයජීවී පරිසර පද්ධති ආරක්ෂා කිරීමේ අභියෝග පිළිබඳව ශ්‍රී ලංකාවේ දේශගුණය පිළිබඳ  පාර්ලිමේන්තු සංසදයේදී  විශේෂ අවධානය යොමු විය.

ඒ එම  සංසදය එහි සම සභාපතිවරුන් වන  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  සහ  පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී  පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී දේශගුණික විපර්යාස, විශේෂයෙන් එල් නිනෝ තත්වය, ශ්‍රී ලංකාවේ සාගරික පරිසර පද්ධති, වෙරළබඩ කලාප, ජෛව විවිධත්වය සහ වෙරළබඩ ප්‍රජාවන්ගේ ජීවනෝපාය කෙරෙහි ඇති කරන  බලපෑම් පිළිබඳව සාකච්ඡා කරන ලදී.

සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් කොරල් පර විරංජනයවීම (Coral Bleaching), මත්ස්‍ය ගහනයේ සිදු වන  සංක්‍රමණික වෙනස්කම්, විෂ ඇල්ගී වර්ධනය (Algal Blooms), ඔක්සිජන් අවම කලාප (Dead Zones) ඇතිවීම සහ ජල පරිසර පද්ධතිවල අස්ථාවරතාවය වර්ධනය වීම වැනි ගැටලු පිළිබඳවද   අවධානයට යොමු කෙරිණ

එමෙන්ම, නියඟ තත්වයන්හි  ප්‍රතිඵලයක් ලෙස  ගංගා ජල මට්ටම් පහත වැටීම සහ මුහුදු ජලය ගංගා පද්ධති තුළට ඇතුළු වීම නිසා පානීය ජල සැපයුමට තර්ජන එල්ල වීම සහ ධීවර හා සංචාරක කර්මාන්තයට මෙම පාරිසරික වෙනස්කම් හේතුවෙන් ඇති වන ආර්ථික බලපෑම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මීට අමතරව  ශ්‍රී ලංකාවේ සාගරික සම්පත් ආරක්ෂා කිරීම සඳහා නාරා ආයතනය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ ආයතන විසින් ඉටු කරනු ලබන කාර්යභාරය පිළිබඳවද සාකච්ඡා කෙරිණ.   එම   ආයතන අතර වඩාත් ඵලදායී සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවද සංසදය විසින් සහිපත් කරන ලදී.

තවද, ඉදිරියේදී ඇති විය හැකි “ එල් නිනෝ” ( El Niño) තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා සාගර නිරීක්ෂණ පද්ධති ශක්තිමත් කිරීම, පරිසර පද්ධති ප්‍රතිස්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, විද්‍යාත්මක දත්ත මත පදනම් වූ තීරණ ගැනීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීම සහ ඒකාබද්ධ ජාතික සාගර කළමනාකරණ සැලැස්මක් සකස් කිරීමේ වැදගත්කමද සංසදය  අවධාරණය  කළේය

එමෙන්ම දේශගුණික විපර්යාස හේතුවෙන් උභයජීවී විශේෂවල වාසස්ථාන, ප්‍රජනන රටාවන් සහ ජීවත් වීමේ  හැකියාව කෙරෙහි ද බලපෑම් එල්ල වන බව මෙහිදී අවධාරණය කෙරිණි.

වර්ෂාපතන රටාවන්හි වෙනස්වීම්, නියඟ තත්ත්වයන් සහ උෂ්ණත්වය ඉහළ යෑමෙන්  ගෙම්බන් ඇතුළු උභයජීවී විශේෂ රැසක් අවදානමට ලක්විය හැකි බවත්  එමගින් පරිසර පද්ධතිවල සමතුලිතතාවයට ද බලපෑම් ඇති විය හැකි බවත්  නිලධාරීහු   පෙන්වා දුන්හ.

මෙම අවස්ථාවට   පාර්ලිමේන්තු මන්ත්‍රීවරු  වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEPA) නිලධාරීහු , පර්යේෂකයෝ සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ   සහභාගීවූහ.