(සුජිත් හේවාජුලිගේ )

සැක සහිත ලෙස හැසිරෙමින් පාර්ලිමේන්තුව ජංගම දුරකතනයකින් වීඩියෝ ගත කළ දෙදෙනෙක් පාර්ලිමේන්තු පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (29) සවස අත්අඩංගුවට ගනු ලැබූහ.

මින් එක් සැකකරුවකු යාපනයේ පදිංචි ද්‍රවිඩ ජාතිකයකු වන අතර අනෙක් තැනැත්තා මුස්ලිම් ජාතිකයෙකි.

දෙදෙනා වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ඒ මොහොතේම තලංගම පොලිසියට බාර දෙනු ලැබූහ.

සැකකරුවන් තිදෙනා පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ සිට පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය හරහා දියවන්නා ඔය ඉවුරට පැමිණ පාර්ලිමේන්තු සංකීර්ණය එහි ගස් අතරින් වීඩියෝ කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

පාර්ලිමේන්තුව වීඩියෝ කිරීමේ අරමුණ මෙතෙක් හෙළි වී නැති අතර ඒ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කරගෙන යන බව තලංගම පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

මේ දෙදෙනා වීඩියෝ කර ලබාගත් දර්ශනද පොලිසිය බාරයට ගෙන පරීක්ෂා කරගෙන යන බව පැවසූ එම නිලධාරියා සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තු ප්‍රධානීන්ටද දැනුම් දුන් බව සඳහන් කළේය.

තලංගම පොලීසියේ නිලධාරීහු පිරිසක් සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.