පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ස්ථාපිත කිරීම සඳහා ඉදිරිපත්ව තිබෙන අලුත් යෝජනාව පිළිබඳව අධ්‍යයනය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් කමිටුවක් පත්කර තිබේ. සාමාජිකයන් 05 දෙනකුගෙන් සමන්විත අදාළ කමිටුව වෛද්‍ය සංගමයේ සාමාජික ශාඛා සම්බන්ධීකරණය කරමින් වාර්තාවක් සකස් කිරීමට නියමිතය. එම වාර්තාව අපේ රටට ලෝක තත්ත්වයේ වෛද්‍ය සේවාවක් ලබාදීම සඳහා ඉහළ ප්‍රමිතියකින් යුත් වෛද්‍යවරුන් බිහිකිරීමේ වඩාත්ම යෝග්‍ය ක්‍රමවේද පිළිබඳ කරුණු එළිදක්වනු ඇත.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මීට ඉහතදී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් දරණ ලද ස්ථාවරය අනුව එම වාර්තාවේ සඳහන් වනු ඇත්තේ කුමක්දැයි කල් තබාම සිතාගැනීම අපහසු නැත. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ සංකල්පයට වෛද්‍ය සංගමය එතරම් සුබවාදී මතයක් නොදරන බව පෙනේ. කමිටු වාර්තා ලබාගෙන මේ සැරසෙන්නේ කුමකටද යන්න නොබෝදා වෛද්‍ය සංගමය විසින් කරන ලද ප්‍රකාශයෙන් ගම්‍ය වෙයි. එහි කියා තිබුණේ මෙරට වෛද්‍ය සහ සෞඛ්‍ය සේවා විසින් කොරෝනා අර්බුදය සාර්ථකව පාලනය කරගත් අවස්ථාවක පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීම සඳහා නව යෝජනා ඉදිරිපත්වීම සම්බන්ධයෙන් තම සංගමය විමතියටත්, කනස්සල්ලටත් පත්වූ බවය. මෙරට තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට ගත් උත්සාහයන් පිළිබඳ තමන්ට ඇත්තේ ඉතා අමිහිරි අත්දැකීමක් බව එමඟින් පෙන්වා දී තිබුණේ උතුරු කොළඹ වෛද්‍ය පීඨය සහ සයිටම් ආයතනය උදාහරණ වශයෙන් පෙන්වා දෙමිනි. කෙසේ වුවද අද ලංකාවේ ඉහළ පෙළේ වෛද්‍යවරුන්ගේ දූ පුතුන් විශාල පිරිසක් පිටරටවල වෛද්‍ය විද්‍යාල අධ්‍යාපනය ලබන බව රහසක් නොවේ. අද සෞඛ්‍ය අංශයේ සිටින ඉහළ පෙළේ වෛද්‍යවරුන් බොහෝ පිරිසක්ද පිටරට වෛද්‍ය විද්‍යාලවල අධ්‍යාපනය ලැබුවෝද සිටිති.
කොරෝනා වයිරසය සාර්ථකව පාලනය කර ගැනීමට මෙරට වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවා බලධාරීන්ද කාර්ය මණ්ඩලද විසින් ඉටුකරන ලද සේවය ඉතා ඉහළ බවට කිසිදු සැකයක් නැත. ඒ පිළිබඳ නිසි ගෞරවය ඔවුන්ට ලබාදීමට අපි මොහොතකට හෝ නොපැකිලෙමු. එහෙත් එම කාර්යභාරය සහ මෙරට පෞද්ගලික වෛද්‍ය පීඨයක් ඇරඹීම අතර ඇති සම්බන්ධය කුමක්දැයි අපට පැහැදිලි නැත. මේ ආකාරයට එකිනෙකට වෙනස් කාරණා දෙකක් පටලවා ගැනීම පැහැදිලිවම “වයර් මාරුකර ගැනීම”කි. රටක අනාගත වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමේදී එවැනි පටලවා ගැනීම් මගින් සිදුවන්නේ යහපතක් නොව නිවැරදි තීන්දු ගැනීමට බාධා පැමිණීම පමණි.
මේ රටට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අනවශ්‍ය බවත් ඒ පිළිබඳ භයානක බිල්ලකු මැවීමත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අතීත ආදර්ශයයි. වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ තීන්දු ගැනීමේදී වෛද්‍ය සංගමයේ අදහස් දැක්වීම් සැලකිල්ලට නොගත යුතු යැයි අපි නොකියමු. එහෙත් එම කරුණු දැක්වීම් පටු අරමුණක පිහිටා සිටිමින් පසුගාමී චින්තනයකට පාර පෙන්වීමක් නොවිය යුතුය. අද ලෝකයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතුළු පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධ සංකල්ප බොහෝ සෙයින් වෙනස්ව ගොස් තිබේ. බොහෝ දියුණු යැයි සම්මත සහ ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල් පවා උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින තම ආකල්ප වෙනස් කර ගනිමින් සිටී. එම රටවල රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය හා සමගාමීව පෞද්ගලික විශ්වවිද්‍යාල සමූහයක් ද ක්‍රියාත්මකය. ඒ ඇතැම් රටවල පෞද්ගලික විශ්වවිද්‍යාල ඒ ඒ රටවලට ධන උල්පතක් වී තිබේ. ඒ ගැන ගතහැකි ආසන්නම උදාහරණය ඕස්ට්‍රේලියාවයි.
ඕස්ට්‍රේලියාව වත්මන් ලෝකයේ ඒකපුද්ගල ආදායම අතින් 13 වැනි ස්ථානයේ සිටින රටයි. ඒ රටේ ආර්ථික ශක්තිය පිළිබඳ වෙනත් අටුවා ටීකා අවශ්‍ය නැත. එසේම ඒ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතිය හරහා උපයාගන්නා වාර්ෂික ආදායම ඩොලර් බිලියන 37.6 කි. ඒ රටේ ජාතික ආදායම ඩොලර් බිලියන 470.26 කි. උසස් අධ්‍යාපනය හදාරණ තම රටේ මෙන්ම එතෙර සිසුන්ට ද විශ්වවිද්‍යාල විවෘත කිරීම හරහා ඔවුන් උපයන මුදල ආසන්නව එරට ආදායමෙන් 11% කට ආසන්නය.
එරට විදෙස් සිසුන් අතරින් බහුතරය එන්නේ චීනයෙනි. කොරෝනා වසංගතය හේතුවෙන් දෙරට අතර ඇතිවූ අර්බුදයේදී චීනය තම රටින් උසස් අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවට සිසුන් යැවීම නවතා දමන බවට තර්ජනයක්ද කළේය. එය ඕස්ට්‍රේලියාවට තදින් දැනුණු ආර්ථික ප්‍රහාරයක් විය. මෙය වත්මන් ලෝකයේ ඉහළ ප්‍රමිතියකින් යුත් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට තිබෙන ඉල්ලුම සහ සැපයුම කොතරම් ප්‍රබලදැයි පෙන්වාදෙන එක් උදාහරණයක් පමණි.
පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා ගෝලීය වශයෙන් හොඳම පිහිටීමක් ඇති ශ්‍රී ලංකාවට පමණක් ඉහළ ප්‍රමිතියකින් යුත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතුළු විශ්වවිද්‍යාල නොගැලපෙන්නේ මන්දැයි තේරුම් ගැනීම ඉතාම අපහසුය. ඕස්ට්‍රේලියාවේ පමණක් නොව වෙනත් රටවල පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන අපේ රටේ දරුවෝ ද වෙති. ඒ වෙනුවෙන් එතෙරට ඇදී යන්නේ අති විශාල ධනයකි. අපේ රටට ද පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිකිරීමට ඉදිරිපත් වන යෝජනාවලට පදනම් විරහිත ලෙස විරුද්ධ වෙනවාට වඩා එම විශ්වවිද්‍යාලවල තිබිය යුතු ප්‍රමිතිය සහ විශේෂයෙන් පෞද්ගලික වෛද්‍ය පීඨවලට ශ්‍රී ලාංකික සිසුන් බඳවා ගැනීමේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශිත ප්‍රමිතිය අනුගමනය කරවීම සඳහා බලපෑම් කිරීම වඩාත් සුදුසු යැයි අපි සිතමු. විශේෂයෙන්ම අවශ්‍ය වන්නේ උසස් හා නිශ්චිත ප්‍රමිතියකට අනුව වෛද්‍ය විද්‍යාල පිහිටුවනවාදැයි ඇස ගසාගෙන සිටීමය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නම් විදේශයන්හි පුද්ගලික වෛද්‍ය විද්‍යාලවල උගත් ඇත්තන්ට විරුද්ධ නැහැ. අපි විරුද්ධ මේ රටේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලවල උගත් ඇත්තන්ටයි. විදේශවල ඉගෙනීමට විදේශ විනිමය කොපමණ වැයවුවත් අපිට මොකද?
රජයේ විශ්ව විද්‍යාල හා අධ්‍යාපන ආයතන ප්‍රමාණය ඉහළ දැමීම හා පහසුකම් වැඩි කිරීම අප රටට විතරක් නොහැකිද?
ඒ සම්බන්ධයෙන් ස්ථාවරය ප්‍රකාශ කිරීමට පෙර මෙසේ කියනු ඇතැයි සිතා කතුවැකි ලිවීම හාස්‍යයට කරුණකි..
කුහකයින්ට ගොඩක් රිදේවි...
පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරන්න ඕනෑනම් පාදෙණිය මහත්මයාට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්කම දෙන්න ඕනේ... මෙතැන තියෙන්නේ ප්‍රතිපත්තීමය වශයෙන් විරුද්ධ වීමක් නෙවෙයි. උදාහරණයක් හැටියට කොතලාවල වෛද්‍ය පීඨයට කිසි අවුලක් නැහැ. සයිටම් එක පටන්ගන්න කොට කිසිම විරුද්ධත්වයක් නොකියූ කට්ටිය පහුගිය යහපාලන කට්ටියට පලු යන්න දුන්නා සයිටම් එක අල්ලගෙන...
පාලකයින් විසින් වෛද්‍ය විද්‍යාල ආරම්භ කරද්දී, ඒක හොඳවෙලා, වෛද්‍ය විද්‍යාව හදාරපු ළමයි එළියට එද්දී, නරක් වෙන තියරිය ගැන අපි දැනගෙන බොහෝ කල්? ලෝකේ වෙනත් රටවල ඕනෑතරම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තිබෙනවා වුණත්, මාෆියා සංගම් කල්ලි විසින් මෙහෙයවන ලංකාවේ සෞඛ්‍ය ක්ෂේ්‍ත්‍රයට එය ගැලපෙන්නේ නැහැ. පහුගිය කාලේ නැට්ට උස්සගෙන මහපාරට බැස තප්පුලපු හරක් රැල මොකද දැන් නැට්ට බඩයට ගහගෙන... මම ඒ හරක් රැලට ආරාධනා කරනවා. එන්න මේ සැරේ මමත් ඔබ හා එක්වන්නම්...!
මාෆියාවන්ට යට නොවී රටට හිතකර තීන්දුව ගත යුතුයි.
සංජීව අපේ රටේ නීතිය නමන්න පුළුවන් ඕනෙ විදිහට ඉතින්... වැරදිලා හරි ලොකු මිනිහෙක්ගේ පුතෙක් අතින් පොඩි මිනිහෙක් මැරුණොත් එහෙම මොකද වෙන්නේ? දැන් ඔය රිය අනතුරුවලින් කීදෙනෙක් මැරුණද? මොකද වුණේ?
රාජපක්ෂලා කරනවා නම් ඕන දෙයක්...
සයිටම් පටන් ගත්තේ කලින් රාජපක්ෂවරු ආණ්ඩු කරද්දී. ඊට පස්සේ රාජපක්ෂවරු විපක්ෂයේ ඉන්න කොට සයිටම් එකට විරුද්ධ වෙලා එ්ක වැහුවා. සයිටම් එ්කේ හිටපු ළමයින් අතරමං වුණා. නැවත රාජපක්ෂවරු ආණ්ඩු කරද්දී තවත් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පටන් ගන්නවා. නැවත කවදා හරි දවසක රාජපක්ෂවරු විපක්ෂයට ගියපු දවසට මේකට විරුද්ධ වෙලා මේකත් වහයි. මේකේ ඉගෙන ගන්න ළමයිනුත් පස්සේ දවසක අතරමන් වේවි. එ්කයි තියන ප්‍රශ්නය... නැතුව බොහෝ දෙනෙක් පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධ නැහැ.
එසේම ඒ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතිය හරහා වැරදි කතාවකි. ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල සියල්ලම පාහේ රජයේ ඒවා වේ. ඒවාට විදේශ රටවල සිසුන් ගෙවා ඉගෙන ගන්නට ඒම වෙනම කතාවකි.
පිටරට විශ්ව විද්‍යාල අපේ රටට හොඳ නැතිනම් අපේ වෛද්‍යවරු පිටරටවල ඉගෙන ගන්න යන්නේ ඇයි?
බද්රානි, ඔබ ඔය කියන හරක් රැල මේ දවස් වල තණකොළ වලට අමතරව ලබාදෙන පුන්නක්කුත් කාලා සැපට නිදි. මහ හරක්ට විශේෂ සැලකිලිලු. තව සෑහෙන කාලයක් ගතවෙයි එවුන් ඒ නින්දෙන් ඇහැරෙන්න...
උසස් පෙළ සමත් සාමාන්‍ය පවුල්වල දක්ෂ දරුවන්ට වෛද්‍ය විද්‍යාව ඉගෙනීමට විදේශගතවීමට වත්කමක් නැති අතර රටේ වටිනා විදේශ මුදල් ඉතිරි කරගැනීමටත් විදේශීය සිසුන් මෙරටට ගෙන්වා විනිමය උපයා ගැනීමට ද හොඳම මගකි. රටක් පාලනය කළහැකි නම් විශ්ව විද්‍යාල ප්‍රමිතීන් පාලනය කර පවත්වාගෙන යෑම විසඳිය හැකි ගැටලුවක් පමණි.
රටේ ප්‍රමාණවත් තරමට දොස්තරලා සහ හෙදියන් හිටියා නම් අතරමංවෙලා ඉන්න අපේ පිරිස ගෙන්වාගෙන නිරෝධායනය කරලා රටතුළට ගන්න පුළුවන්. පුද්ගලික සහ රජයේ කියලා රෝහල් පද්ධති 2ම අපට තිබෙනවා. නැත්තේ දොස්තරලා...
දොස්තරලාද? මහාචාර්යවරුද? ආචාර්යද? නැතිනම් ලිපිකරුද? මුරකරුද? කියලා නැතිව රජයේ සියලුම රජයේ සේවකයින්ට නියම විදිහට සලකනවා නම් මෙහෙම සේවකයින් ආණ්ඩු කරන රටක් බිහිවෙන්නේ නැහැ. තමන්ගේ දේශපාලන ඕනෑ එපාකම් වෙනුවෙන් රජයේ සේවකයින් සඳහා වූ පරිපාලන නීතිරීති බිඳදැමූ අය නිසයි මේ තත්වය ඇතිවී තිබුණේ...
නිසි අධ්‍යාපන සුදුසුකම් වලින් බඳවාගෙන, නිසි ප්‍රමිතියට ප්‍රායෝගික පුහුණුව දෙන පිළිගත් ප්‍රමිතීන්ට අනුකූල පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක ඇති වරද කුමක්ද? ලෙඩාගේ දිවිය බිල්ලට තබා ස්ට්‍රයික් කරන වෘත්තීය සමිති දොස්තර වරුන්ට වඩා...
ඔව් අපේ රට ලෝකයේ අනික් රටවල් වලට වඩා ගොඩක් වෙනස්. මොන නීතියක්වත් ලොක්කන්ට බලපාබලපාන්නේ නෑ.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කර බඳවා ගැනීමේ අවම සුදුසුකම මත සිසුන් බඳවාගෙන නියාමනයක් සහිතව පවත්වාගෙන යාම සුදුසුය. ශ්‍රී ලංකාවේ සිසුන් ගැනීමේදී උසස් පෙළ ලිවීමට පෙර ඇතුලත් වීමට බලාපොරොත්තු වන්නේ රාජ්‍ය වෛද්‍ය විද්‍යාල වලටද පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයටද යන්න මනාපය පලකිරීම අනිවාර්ය කිරිම මගින් රාජ්‍ය වෛද්‍ය විද්‍යාලවලට වැඩි සිසුන් පිරිසක් ඇතුළත් කරගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.
රුපියල් මිලියන 6 සිට 30දක්වා වටිනාකමක් ඇතිවාහන භාවිතා කරන දොස්තරලා ඉන්න, රුපියල් මිලියන 20 සිට 50 දක්වා වටිනාකමක් ඇති වාහන භාවිතා කරන මහජන නියෝජිතයෝ ඉන්න ධනවත් ආර්ථිකයක් තිබෙන අපේ රටට පුද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍ය නැත්තේ මොකද?
අපේ රටේ අද සිටින බොහෝ වෛද්‍යවරු ඉතාම දුප්පත් දෙමාපියන්ගේ දරුවන්... ඔවුන්ට වෛද්‍යවරයෙකු විිමේ අවස්ථාව ලැබුනේ නිදහස් අධ්‍යාපනයට පින්සිදු වෙන්න මිස පුද්ගලික වෛද්‍යවිද්‍යාල වලින් නොවේ. අපි බදු ගෙවන්නේ අපේ දරුවන්ට අපට අවශ්‍ය සේවය ලබාගන්න. එ්ක පුද්ගලික අංශයට දීලා අත පිහිදාගන්න අාණ්ඩුවක් අපට මොකටද..? පාලකයින්ට ප්‍රකෝටි ගණන් ජනතාවගේ ධනය හොරකම් කරගෙන ඔවුන්ගේ සනුහරයම ලෝකයේ උසස්ම අධ්‍යාපනයට දමමින් යහමින් වැජඹෙමින් අපිට කියන්නේ නුඹලා අපේ දරුවන්ට ඉස්කෝලෙ යන්නත් අපේ අතේ තියෙන තුට්ටුදෙක දෙන්න කියලද..?
මේක කරන්නද මෙයාට ජනතාව උඩපැන පැන ඡන්දෙ දුන්නේ...? හොරාකාපුව දීපල්ලා අපට විශ්ව විද්‍යාල 100ක් හදන්න පුළුවන්... ඒ මහා ධනස්කන්ධයෙන්..
ලෝකෙ දියුණු මිනිස්සු ඉන්න රටවලට පුද්ගලික කැම්පස් හොඳයි... මේ වගේ නොදියුණු රටකට ගැලපෙන්නේ නෑ.. මොකද සල්ලි වලින් මනින දේවල්වලට ප්‍රමිතියක් නෑ... එතකොට SB දිසානායකගේ.. මර්වින් සිල්වාගේ.. කොටින්ම නාමල්ටත් දොස්තර වෙන්න පුලුවන්... එතකොට ලෙඩ්ඩු... ඉවරයක්ම කරහැකි... අද කාලේ නොමිලේ ඉගෙන ගත්තු සමහරක් දොස්තරලාත් බස් කොන්දොස්තරලා වගේනේ. මේ රට හොරුන්ගෙන්.. දූෂිතයින්ගෙන් ගැළවුණු දවසට. ඔය ක්‍රමේ හොඳයි...හැබැයි සල්ලිවලට අසූචි කන එක නතර වුණු දවසක...
චන්දිම ගේ කතාව හරි ඕස්ට්‍රේලියාවේ රජයේ විශ්වවිද්‍යාල 38යි, ඉතිරි 5 පෞද්ගලික (ලාභ නොලබන පෞද්ගලික, ලංකාවේ තියෙන ලාභ ලබන පෞද්ගලික විශ්වවිද්‍යාල කඩ නෙමෙයි) 5න් 2ක් විදේශීය ඇමරිකානු විශ්ව විද්‍යාල වල ශාඛා, අනෙක් 3න් කතෝලික පල්ලියට සහ ක්‍රිස්තියානි පල්ලිය වලට අයිති ඒවා. හරියට ලංකාවේ සාන්ත තෝමස් විද්‍යාලය වගේ.