(ගයාන් සූරිය ආරච්චි)

අකුරේගොඩ යුද හමුදා මූලස්ථානය අසලදී නීතිඥ බුද්ධික ගයාන් මල්ලවාරච්චි මහතා සහ ඔහුගේ බිරිය වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුට ව්‍යාජ හැඳුනුම්පතක් සකසා දීම සම්බන්ධයෙන් අත්තනගල්ල මීවල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයකු  අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නිට්ටඹුව, යටියන යටියන ප්‍රදේශයේ පදිංචි 49 හැවිරදිි පුද්ගලයෙකි.

එම නීතිඥවරයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාශය සිදු කල විමර්ශනවලට අනුව ව්‍යාජ ඡායාරූපයක් යොදාගෙන රූබන් සුරේෂ් නමින් ව්‍යාජ හැඳුනුම්පතක් සකස් කරදීමට කූට ලේඛන සාදා දීම සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරීවරයා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත් දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර මහතාගේ මග පෙන්වීම ඔස්සේ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදුකරයි.