(අංජුල මහික වීරරත්න)

මඩකලපුව පිහිටි නැගෙනහිර පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය ජාතික මට්ටමේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුහුණු මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක එම වැඩපිළිවෙල අනුව නැගෙනහිර පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය මධ්‍යම රජය යටතට පවරා ගැනීමට අවශ්‍ය මූලික කටයුතු මේ වන විටත් සිදුකෙරෙමින් පවතී.

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා නැගෙනහිර පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානයේ (PHTC) වත්මන් තත්ත්වය නිරීක්ෂණය කළේය. එහිදී මධ්‍යස්ථානයේ පවතින සම්පත් සහ ක්‍රියාත්මක පුහුණු වැඩසටහන් ඇගයීමට ලක් කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා පළාත් මට්ටමින් ක්‍රියාත්මක වන මෙම පුහුණු මධ්‍යස්ථානය මධ්‍යම රජයට පවරා ගැනීම තුළින් සමස්ත ශ්‍රී ලංකාවාසී සෞඛ්‍ය වෘත්තිකයන් වෙනුවෙන් ජාතික මට්ටමේ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමෙන් අත්වන ප්‍රතිලාභ පිළිබඳවත්, අනාගත සංශෝධන සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා නිර්මාණාත්මක නිර්දේශයන් ද මෙහිදී ඉදිරිපත් කළේය.