(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දෙමටගොඩ පොලිසියට අනුයුක්ත නිලධාරීන් 14 කු හදිසියේ රෝගීවී ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ බව කොළඹ උතුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය සඳහන් කරයි.

රෝගී වූ නිලධාරීන් අතර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු, පොලිස් සැරයන්වරුන් තිදෙනකු පොලිස් කොස්තාපල්වරුන් නව දෙනකු හා කාන්තා පොලිස් කොස්තාපල්වරියකද වන බව එම කාර්යාලය කියයි.

උණ සහ සමේ ආසාදිත භාවයකින් ඔවුන් නාරහේන්පිට පොලිස් රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කිරීමෙන් අනතුරුව එකී පිරිසෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සහ කාන්තා පොලිස් කොස්තාපල්වරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.

විෂ බීජයක් ශරීරගත වීම හේතුවෙන් පොලිස් නිලධාරීන් රෝගී වී ඇති බව වෛද්‍යවරුන් විසින් අනාවරණය කර ඇතැයි පොලිස් අධිකාරී කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.