(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ සාමාන්‍ය සේවකයන්ට  ලබා දෙන  කෑමබීම  මෑතක සිට  ආහාරයට  ගැනීමට පවා ඉතාම  අපහසු  නීරස  ආකාරයට   පිළියෙල  කෙරෙන  බවට  එහි සේවකයෝ  චෝදනා කරති.

මේ හේතුවෙන් සේවක සේවිකාවන්  බොහෝ පිරිසක් අද  සහ ඊයේ  දිවා ආහාරය නොගෙන    පිටව  ගොස්  ඇතැයි වාර්තාවේ.

පාර්ලිමේන්තුව යනු දූපතක පිහිටි ආයතනයකි. අනෙක් ආයතන මෙන් නොව සේවකයන්ට පිටතට ගොස් කෑම  ගැනීමට පවා අවස්ථාව  නැති  හෙයින්   මෙහි පිළියෙල කරන   ආහාරපාන   අකමැත්තෙන් වුව  ගැනීමට  සිදුවන  බව  ඔවුහු පෙන්වා දෙති.

එසේම පාර්ලිමේන්තු සේවකයන්ට ආරක්ෂක හේතු මත ගෙදරින් කෑම ගෙන ඒමටද අවස්ථාව නොමැත.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ ආහාරපාන  සහ   ගෘහ පාලන දෙපාර්තමේන්තුවෙන් කළ විමසුමකදී එහි නිලධාරියකු පැවසුවේ මූල්‍යමය ගැටලු හේතුවෙන්   කෑම බීම සැපයීම යම් ප්‍රමාණයකට සීමා කිරීමට සිදුව ඇති බවයි.

පාර්ලිමේන්තුවේ ආපනශාලා
පහක්  ක්‍රියාත්මක වන අතර  මෙම චෝදනාව   වැඩි වශයෙන්ම  එල්ල වන්නේ සාමාන්‍ය  සේවකයන්ගේ ආපනශාලාවෙන් නිකුත් කෙරෙන ආහාරපාන  සම්බන්ධයෙනි.