(මනෝප්‍රිය ගුණසේකර) 

රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට සහ කාන්තාවකට එරෙහිව පවරා ඇති නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය නොවැම්බර් 04 වැනිදා පැවැත්වීමට කොලඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා අද නියම කළේය.

වසරක කාලයකට පෙර වැල්ලවත්ත ‘හැව්ලොක් සිටි’ නිවාස සංකීර්ණයේදී රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියට අදාළ නඩුව කැඳවු අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටි විත්තිකාර දෙපළට එරෙහි නඩුව කැඳවු අවස්ථාවේදී විත්තිකරුවන්ගේ නීතීඥවරයා රෝගී තත්වයෙන් පසුවන බව දැනුම් දෙමින් කළ ඉල්ලීමකට අනුව මහාධිකරණ විනිසුරුවරයා එලෙස නියම කළේය.

නඩුව කැඳවු අවස්ථාවේදී විත්තිකාර හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සහ අයිගුල් ෂෙරාග්සිනා නම් කාන්තාව අධිකරණයේ පෙනී සිටියහ.

2025 වසරේ වැල්ලවත්ත ‘හැව්ලොක් සිටි’ නිවාස සංකීර්ණයේදී රන් අලේපිත ටී 56 වර්ගයේ ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා කොලඹ මහාධිකරණයේ අධි චෝදනා නඟා ඇත.

මීට පෙර නඩු දිනයේදී විත්තිකාර යුවළට එරෙහි අධිචෝදනා පත්‍ර බාරදුන් අතර ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා රුපියල් 50000/- බැගින් මුදල් සහ රුපියල් ලක්ෂ 20 බැඟින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත මුදා හැරීමට නියම කෙරිණී.