ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බවත්, උතුරු පළාතේ පළාත් සභා ඡන්දයක් පවත්වනදාට රජයේ මහ ඇමති අපේක්ෂකයා තමා බවත්, කුමරන් පද්මනාදන් හෙවත් කේපී ගැන මාධ්‍යවල මොනවා පළවුණත් උතුරේ ජනතාව තමා තෝරා ගන්නා බවට සැකයක් නැති බවත් සම්ප්‍රදායික කර්මාන්ත ඇමති ඩග්ලස් දේවානන්ද මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි. දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් අවශ්‍ය බවත්, දිවි නැගුම පණතින් පළාත් සභා බලතල අහිමි වීමක් සිදු නොවන බවත් ඔහු කියයි. දකුණු ඉන්දියාවේ මිනීමරුමක් සම්බන්ධයෙන් තමා විත්තිකරුවකු කරමින් චෙන්නායි අධිකරණයයේ  පවරා ඇති නඩුව වෙනත් ප්‍රාන්තයක විභාගයට ගත්තොත් තමා ඊට මුහුණ දෙන බව ද ඔහු සඳහන් කරයි. තමාට විරුද්ධව ඇත්තේ මිනීමැරුම් චෝදනාවක් නොව කළහකාරීව ඇසිරීම බව ද, එදා තමන් අත තිබුණේ ඉන්දියාවෙන් සැපයූ ආයුධ බව ද ඇමැති කියයි. කොටිනායක ප්‍රභාකරන් හා උමා මහේෂ්වරන් මීට පෙර තමිල්නාඩුවේදීම නීතිය කඩවන ආකාරයෙන් වෙඩි තබාගත් බවත්, ඒ සඳහා භාවිතා කළේ හොර ආයුධ බවත් ඔහු සඳහන් කරයි.