(හේමන්ත ද සිල්වා සහ එස් ඒ වයි ද සිල්වා )

ජාතික ජන බලවේගය පාලනය යටතේ පවතින බළපිටිය ප්‍රාදේශීය සභාවේ 2027 වර්ෂය සඳහා දෙවන වරට ඉදිරිපත් කළ අයවැයද වැඩි ඡන්ද දෙකකින් අද පරාජයට පත් විය.

ජාතික ජන බලවේගය පාලනය යටතේ පවතින බලපිටිය ප්‍රාදේශීය සභාවේ 2027 ලබන වර්ෂය සඳහා පළමු වරට ඉකුත් (17) දින ඉදිරිපත් කරන ලදි. එය වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත්වීමෙන් පසුව අයවැය සම්මත කර ගැනීම සඳහා අද පෙරවරුවේ යළි රැස්විය.

සභාපති අනුරුද්ධ මහවැලි මහතාගේ ප්‍රධානත්වයෙන් බලපිටිය ප්‍රාදේශීය සඳහා සභා ශාලාවේදී මෙම රැස්වීම පැවැත්වුණි

2027 වර්ෂය සඳහා සමස්ත ආදායම රුපියල් හතළිස් නමකෝටි අනූපන්ලක්ෂ දහසය දහස් 244කි ( 49,95,16,244 )

සමස්ත වියදම රුපියල් හතළිස්නමකෝටි අනූපන් ලක්ෂ දාසයදාස් හාරසියයකි (49,95,16,400) අතිරික්තය රුපියල් 1844 කී.

මෙම අයවැය ලේඛනයට පක්ෂව බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති අනුරුද්ධ මහවැලි මහතා ඇතුළු ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු දහසය දෙනෙකු (16)  ඡන්දය ප්‍රකාශ කළ අතර අයවැය ‍ලේඛනයට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු දහඅටදෙනෙක් (18)  ඡන්දය දුන්හ

ඡන්ද විමසීම අවසානයේදී ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ සභාපති අනුරුද්ධ මහවැලි මහතා සභාව හමුවේ දැනුම් දුන්නේ පනත ප්‍රකාරව 169 වගන්තිය යටතේ අයවැය සම්මත වූ ලෙස සලකා ඉදිරියේදී කටයුතු කරන බවයි.

පෙරවරු නමයට ආරම්භ වූ සභා රැස්වීම විනාඩි දහයකින් අවසන් වූ අතර  සභා ශාලාවට ඇතුල්වන ස්ථානය ආසන්නයේ පොලිස් ආරක්ෂාව යොදා ඇති අයුරු දක්නට ලැබුණි.