විවිධාකාරයේ මානවරූපි (මනුෂ්‍යයන්ට සමාන ලෙස හිසක්, අත පය සහ සිරුරුක් ඇති) රොබෝවරුන් චීනයේ දකින්න ලැබේ. චීනයේ එවැනි එක් රොබෝවකු මහ මඟ සිඟමනේ යෙදෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය (වයිරල්) වී ඇත.

මේ රොබෝ ගැන දැන ගන්න ලැබෙන්නේ චීනයේ සිචුවාන් පළාතෙනි. මෙම රොබෝ මහමඟ සිඟමනේ යෙදෙන්නේ 'මට මාව චාජ් කරගන්න විදියක් නැහැ. ඒ වෙනුවෙන් සල්ලි දෙන්න පිං සිද්ධ වේවි' යැයි කියමිනි. රොබෝ මුදල් ලබා ගැනීම වෙනුවෙන් කියුආර් කේතයක් සහිත රූපයක් ද අසලින් තබාගෙන සිටිනු දකින්න ලැබේ.

එපමණක් නොවෙයි, රොබෝ තමන් ගැන මනුෂ්‍යයන් තුළ අනුකම්පාවක් ඇති කිරීමට අනුවේදනීය ආකොරයේ සංගීතයක් වාදනය වීමට සලස්වයි.

මෙම රොබෝ චීනයේ Unitree Gi නමැති උසස් තාක්ෂණික මාදිලියට අයත් රොබෝවරයකු බව මේ වනවිට අනාවරණය වී ඇත. මේ රොබෝ පණ ගැන්වෙන්නේ කෘත්‍රිම බුද්ධිය (AI) තාක්ෂණයකිනි.

අසරණ වී සිඟමනේ යෙදන බව රොබෝගෙන් නිරූපණය කර ඇත්තේ පර්යේෂණයක ප්‍රතිඵළයක් යැයි රොබෝගේ හිමිකරුවන් මේ වනවිට තහවුරු කර ඇත.

මේ 'Unitree G1' රොබෝ, අසරණ රොබෝවකු නොවන බවත්, මෙය ප්‍රචාරණ උපක්‍රමයක් (Publicity Stunt) බවත් රොබෝ අයිති තාක්ෂණ සමාගම බවසයි. තාක්ෂණ සමාගම උත්සාහ කර ඇත්තේ රොබෝට කී දෙනකු පිහිට වෙනවාදැයි සොයා බැලීමට බව ද වාර්තා වේ.

(ඩේලිමේල්)