
(සුජිත් හේවාජුලිගේ)
සිර දඬුවම් නියමය වීමෙන් පසු චීවරය ඉවත් කෙරුණු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සම්ප්‍රදායනුකූලව නැවත සිවුරු පෙරවීම සඳහා සඳහා කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවෙන් කෙරුණු ඉල්ලීම සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.
ඉත්තෑපාන ධම්මාලංකාර එම සංඝ සභාවේ මහා නායක හිමියන් මෙම ඉල්ලීම කරනු ලැබුවේ බන්ධනාගාර වැඩ බලන කොමසාරිස් ජනරාල්වරයාට ඉකුත් 30 වැනිදා යැවූ ලිපියකිනි.
සිර දඬුවම් විඳින ගල ගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නැවත සිවුරු පෙරවීම ධර්ම ධර්ම විනයානුකූලව සිදු කළ යුතු බවත් ඒ සඳහා තමන් වහන්සේ ඇතුළු දස නමකගෙන් සමන්විත සංඝ සභා නියෝජිත පිරිසක් බන්ධනාගාරයට පැමිණීමට සූදානමින් සිටින බවත් උන්වහන්සේ එම ලිපියෙන් දැනුම් දුන්හ.
ඥානසාර හිමියන්ට නැවත සිවුරු පෙරවීමට අවශ්‍ය පහසුකම් සූදානම් කර දිනයක් සහ වේලාවක් දෙන ලෙසද එම ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලීම් කළහ.
මේ අනුව එම ඉල්ලීම කර මාසයකට ආසන්න කාලයක් ගත වී ඇතත් චීවරය නැවත ඇන්දවීමට අවශ්‍ය කටයුතු මෙතෙක් සකස් කරදී නොමැති බව එම සංඝ සභාව චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ කොටපිටියේ රාහුල කෝට්ටේ කල්‍යාණ ශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනු නායක ස්වාමීන් වහන්සේ පැවසුවේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට චීවරය නැවත ඇන්දවීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස නිකායේ නායක ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම කර මාසයකට ආසන්න කාලයක් ගත වී ඇතත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඊට තවමත් ප්‍රතිචාරයක් ලැබී නැති බවයි.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින බව කී උන්වහන්සේ ගෙන ඇති ක්‍රියාමාර්ග කිසිවක් අතහැර නැතැයිද ප්‍රකාශ කළහ.
තවද ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට යළි සිහි කැඳවීමක් කිරීමට බලාපොරොත්තුවන බව කොටපිටිය රාහුල අනුනාහිමියෝ සඳහන් කළහ.
ස්වාමීන් වහන්සේ නමකගේ චීවරය එක එක පුද්ගලයන්ට වුවමනා පරිදි වෙනස් කළ නොහැකි බවත් එය කළ හැක්කේ දීර්ඝ විමර්ශනයකින් පසු අදාල නිකාය පාර්ශවයට පමණක් බවත් උන්වහන්සේ පැවසූහ.
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා මේවා සම්බන්ධයෙන් මැදිහත්ව කටයුතු කළ යුතු නමුත් එවැනි තත්ත්වයක් පෙනෙන්නට නැති බව පැවසූ රාහුල නාහිමියෝ වගකිවයුතු පාර්ශ්ව එකිනෙකාට බෝලේ පාස් කරන තත්ත්වයක් පෙනෙන්නට ඇතැයිද සඳහන් කළහ.
මේ අතර සිරගත කෙරෙන භික්ෂූන්ගේ චීවරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ කමිටුවේ නිර්දේශවල අඩුපාඩු තිබෙන බවත් ඒ සම්බන්ධයෙන්ද මැදිහත් වී කටයුතු කරන බවත් අනු නාහිමියෝ පැවසූහ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න මහතා පැවසුවේ නැවත චීවරය ඇන්දවීම පිළිබඳ කටයුත්තේදීී තමාට කිසිදු මැදිහත්වීමක් නැතිි බවයි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අදාල නිකාය පාර්ශවය සමඟ සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් අවස්ථාව සලසා දිය හැකි බව ඔහු සඳහන් කළේය.
භික්ෂූන් වහන්සේ නමක් සිරගත වූ පසු ඒ පිළිබඳව අදාළ නිකාය පාර්ශ්වය දැනුවත් කිරීම තමාගේ කාර්යභාරය බවත් සෑම අවස්ථාවකම තමා එම කාර්යභාරය ඉටු කර ඇති බවත් සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
මේ සම්බන්ධයෙන් අප බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් නීතිමය තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් බන්ධනාගාර වැඩ බලන කොමසාරිස් ජනරාල්වරයා අදාළ නිකාය පාර්ශවයට ලිපියක් යොමු කර ඇති බවයි.
මේ අනුව නිකාය පාර්ශවයේ ඉල්ලීම සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව නීති ප්‍රකාරව සුදුසු තීරණයක් ගැනෙනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.
ඥානසාර හිමියන් වෙනත් නඩුවකට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන අවස්ථාවේදී චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජයේ ආන්දෝලනාත්මක කතාබහක් ඇති විය. ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් රජය විසින් පත්කෙරුණු කමිටුව භික්ෂූන් වහන්සේලා චීවරයෙන් අධිකරණයට ගෙනා ආ හැකි බවට නිර්දේශ කළේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වැරදිකරුවී වසර හයක සිර දඬුවමක් නියමව සිටි ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2019 වසරේ මැයි 23 වෙනිදා පූර්ණ සමාව පිරිනැමීය.
මේ අනුව උන්වහන්සේ එදින සිට නිදහස ලබා සිටි අතර එම නිදහසට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර තිබූ පෙත්සම් දෙකක් සලකා බැලීමෙන් පසු සැප්තැම්බර් 10 වෙනිදා එම ජනාධිපති සමාව අවලංගු කළේය
එම තීන්දුවෙන් පසු උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඔක්තෝබර් 05 වැනිදා යළි සිරගත කළ අතර ඊට පසු දින එනම් ඔත්තෝබර් 06 වෙනිදා ඥානසාර හිමියන් ගිහි ඇඳුමෙන් වෙනත් නඩුවකට අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
ඒ අවස්ථාවේදී ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඇතුළු විවිධ පාර්ශව දැඩි ලෙස විරෝධය පළ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd