පොදු රාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙල දෙකකදී රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා බර ඉසිලීමේ කී‍්‍රඩක චින්තන ගීතාල් විදානගේට පනවා තිබු තරග තහනම ළිහිල් කිරීමට අන්තර්ජාතික බර ඉසිලීමේ සම්මේලනය තීරණය කර තිබේ. පසුගිය වසරේ අපේ‍්‍රල් මාසයේදී චීනයේ පැවැති ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේදී කළ මුත‍්‍රා නියදි පරීක්ෂාවේදී චින්තන, තහනම් උත්තේජක ගෙන ඇති බවට හෙළිදරව් විය. මේ අනුව ඔහුට 2011 වසරේ මැයි මස 13 වැනිදා සිට වසර හතරක තරග තහනමක් පැනවීය. 2015 මැයි 13 වැනිදා දක්වා එම තරග තහනම ක‍්‍රියාත්මක වීමට නියමිතව තිබුණි. අන්තර්ජාතික බර ඉසිලීමේ සම්මේලනය විසින් තරග තහනමට ලක්වන බර ඉසිලීමේ ක‍්‍රීඩකයකුට හෝ ක‍්‍රීඩිකාවකට ලබාදෙන උපරිම වසර හතරක තරග තහනම වසර දෙකක් දක්වා අඩු කිරීමට පසුගියදා තීරණය කරන ලදී. ඒ අනුව අන්තර්ජාතික බර ඉසිලීමේ සම්මේලනය විසින් චින්තන විදානගේට පනවන ලද තරග තහනම ලබන වසරේ මැයි 15 වැනිදායින් අවසන් කරන බව ශ්‍රී ලංකා බර ඉසිලීමේ සංගමයට දන්වා තිබේ. චින්තන, 2006 වසරේ මෙල්බන් නුවරදී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේදී කිලෝග‍්‍රෑම් 62 බර පංතියේ රන් පදක්කම දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ බර ඉසිලීමේ ක‍්‍රීඩාවට නව ජීවයක් ලබා දුන්නේය. ඔහු, 2010 වසරේ පැවැති නවදිල්ලි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේදී ද කිලෝග‍්‍රෑම් 69 බර පංතියේ රිදී පදක්කම හිමිකර ගත්තේය.