(අංජුල මහික වීරරත්න)

සමාජ සවිබල ගැන්වීම තුළින් දිළිඳුකම පිටු දැකිම සහ ආර්ථික සාධාරණත්වය තහවුරු කිරීම වෙනුවෙන් නව රජය හඳුන්වා දී ඇති ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය මේ වන විට දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් සාර්ථකව ක්‍රියාත්මක වන අතර එම සැලසුම් ඉදිරියට ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් නව ඩිජිටල් පද්ධතියක් හඳුන්වා දීමට සැලසුම් කර තිබේ.

ප්‍රජාශක්ති ජාතික වැඩසටහන පිළිබඳව දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල සේවය කරනු ලබන නියෝජ්‍ය ක්‍රමසම්පාදන අධ්‍යක්ෂවරුන් සහ සහකාර ක්‍රමසම්පාදන අධ්‍යක්ෂවරුන් දැනුවත් කිරීම වෙනුවෙන් අද (24)  අරලියගහ මන්දිරයේ දී පැවති වැඩසටහනේදී මේ බව සඳහන් කෙරිණි.

මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය යනු නව රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන දිළිඳුකම පිටුදැකීමේ ප්‍රමුඛතම සංවර්ධන වැඩසටහන බවයි. 

2026 වර්ෂය සඳහා රුපියල් බිලියන 180 ක් පමණ අයවැය ඇස්තමේන්තු හා අයවැය යෝජනා මගින් ග්‍රාමීය සංවර්ධනයට වෙන් කර ඇති අතර, එම ප්‍රතිපාදන උපයෝජනය කිරීමේ දී ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ස්ථාපිත කර ඇති ප්‍රජා සංවර්ධන සභා  සඳහා සුවිශේෂි කාර්යභාරයක් පැවරී ඇති බවද ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේය. 

එම සියලු කාර්යයන් උපරිම කාර්යක්ෂමතාවයකින් හා ඵලදායිතාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීමේදී ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාසවලට අනුයුක්ත කර සිටින නියෝජ්‍ය හා සහකාර අධ්‍යක්ෂවරුන්ට විශාල වගකීමක් පැවරෙන බවද ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.