(අංජුල මහික වීරරත්න)

ඉවත දමන කෙසෙල් ගසේ කඳේ තන්තු උපයෝගී කර ගනිමින් රෙදිපිළි සහ ඇගළුම් නිෂ්පාදනය කිරීමේ නවෝත්පාදන වැඩසටහන ඇරැඹූයේ තමා කර්මාන්ත අමාත්‍ය ධුරය දැරූ සමයේ බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එම කෙසෙල් තන්තු වලින්  නිෂ්පාදනය කරන ලද ඇඳුම් එළිදැක්වීම සහ ඒවා නිෂ්පාදනය කිරීමෙන් පසු වෙළෙඳ පොළට යොමු කිරීමේ දී අවශ්‍ය තත්ත්ව සහතික ලබාදීම සිදු කළ බවද වීරවංශ මහතා කියයි.

විමල් වීරවංශ මහතා මේ බව පවසන්නේ සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

"එහෙන් කෙසෙල් කඳ දැම්මම මෙහෙන් ඇඳුම් එළියට එන ෆැක්ටරියක් හදනවා" යයි වත්මන් රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් පවසන ආකාරය උපේක්ෂාවෙන් බලා සිටියෙමි" යනුවෙන් විමල් වීරවංශ මහතා සිය ෆේස්බුක් සටහනේ සඳහන් කරයි.

වත්මන් රජයේ අමාත්‍යවරයා එසේ කීමට පෙර තමා කර්මාන්ත ඇමතිව සිටි 2019 වසරේදී කෙසෙල් කෙඳි මගින් නිපදවූ රෙදිපිළි සහ ඇගළුම් එළිදැක්වීම සහ ළදරු ඇදුම් සදහා සෞඛ්‍යාරක්ෂිත සහතිකය ලබාදීම  සිදු කළ බව වීරවංශ මහතා සඳහන් කරයි.

කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනය(SLITA) මගින් මොරටුව විශ්ව විද්‍යාලයේ පර්යේෂණ අංශය සමග එක්ව මේ කාර්ය ඇරැඹූ බව විමල් වීරවංශ මහතා පවසයි.

තම අමාත්‍යංශය මැදිහත් වී කළ ඒ නවෝත්පාදක ක්‍රියාදාමයෙන් පසු පෞද්ගලික ආයතන රැසක් දැන් කෙසෙල් තන්තු වලින් ඇඟලුම් නිෂ්පාදනය කරමින් සිටින අතර නවෝත්පාදකයන් කිහිප දෙනෙක්ම ඒවා අපනයනයද කර බව වීරවංශ මහතා කියයි.