(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිළිබඳ නඩුව සිංගප්පූරුවට ගෙන ගොස් අනාථ කළ බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවසීය

එය නඩුව එසේ අනාථ කළ පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන්නේ දැයි ඔහු ප්‍රශ්න කළේය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා වෙත ප්‍රශ්නයක් යොමු කරමිනි.

අජිත් පී පෙරේරා මහතා මෙසේද පැවසීය.

මේ නඩුව ලංකාවෙ පවරන්න පුළුවන්කම තියෙද්දි සිංගප්පූරුවට අරගෙන ගියා. මේ ගැන පරීක්ෂණ පවත්වපු අජිත් මාන්නප්පෙරුම හිටපු මන්ත්‍රීතුමාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවට එදා බලපෑම් ආවා. කමිටුවේ නීතිපති නියෝජනය නතර කළා.

ඊයේ යම් සිද්ධියක් සිද්ධ වුණා. එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයොත් මේකට සම්බන්ධයි. නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වයට බලපෑම් කරපු අය ගැන විමර්ශන කළ යුතුයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් දීපු තීන්දුව ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයකට යොමු කර ඒ සම්පූර්ණ ක්‍රියාදාමය අත්හැර දැමුවා. දෙපාර්තමේන්තුව අපකීර්තියට පත්වන ආකාරයේ එම සිද්ධිය ගැන වගකිව යුත්තේ කවුද.

රජය වශයෙන් ඒ ගැන ප්‍රකාශයක් කළ යුතුයි.පරීක්ෂණ කටයුතුවල ප්‍රගතිය කුමක්ද?

අධිකරණ ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා;

මේවට උත්තර දෙන්න පුළුවන්. ප්‍රශ්නය සභාවේ රීතිය අනුව අහන්න. මම මේ ප්‍රශ්නයට උත්තර දෙන්න සූදානම් නෑ.