(චමිලා අල්විස්)

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හොරණ සමගි ජන බලවේග ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

ඒ සමඟම ඔහු මෙතෙක් දැරූ සියලු පක්ෂ තනතුරුද වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පක්ෂය පියවර ගෙන ඇත.

සමගි ජන බලවේග මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, 2023 වසරේදී චරිත් අබේසිංහ මහතා සමගි ජන බලවේගයේ සාමාජිකයෙකු හෝ ආසන සංවිධායකවරයෙකු ලෙස කටයුතු නොකළ අතර, එම කාලසීමාවේදී පක්ෂයේ කිසිදු නිල තනතුරක්ද නොදැරූ බවයි.

එමෙන්ම දූෂණ, අල්ලස් හෝ වෙනත් නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සහ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය කිසිදු අවස්ථාවක විරුද්ධ නොවන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

අල්ලස් සිද්ධිය හේතුවෙන් චරිත් අබේසිංහ මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ග සහ අධිකරණ කටයුතු ඉදිරියටත් ක්‍රියාත්මක වීමට නියමිතය.