(අංජුල මහික වීරරත්න)

මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිශ්‍රී (Vikram Misri) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (05) පස්වරුවේ පැවැත්විණි.

මෙහිදී දෙරට අතර පවතින ශක්තිමත් සහ දිගුකාලීන සබඳතා පිළිබඳ දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැනුණි.

2022/2023 පැවති ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය මෙන්ම දිට්වා ආපදා අවස්ථාවේදී ලබා දුන් මානුෂීය ආධාර සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණ කටයුතුවලදී ලබා දුන් සහයෝගයත්, විශේෂයෙන් මැද පෙරදිග යුද තත්ත්වය හමුවේ මෙරට බලශක්ති අවශ්‍යතාව සපුරා ගැනීමට ලබා දුන් සහාය පිළිබඳවත් කෘතවේදීව සිහිපත් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ඉන්දීය රජය වෙත සිය ස්තූතිය පළ කළේය.

ඉන්දීය රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක කර තිබෙන සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතියද සාකච්ඡාවට ලක් කෙරුණු අතර, ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට ඉන්දියාවේ සහාය අවශ්‍ය බව සඳහන් කළ ජනාධිපතිවරයා කලාපීය තර්ජනයක්ව ඇති නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේදී ඉන්දියාවේ පූර්ණ සහයෝගය අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

කාලගුණ විපර්යාසය හමුවේ මුහුණ දෙන අභියෝගවලට පිළියම් සෙවීමේදී කලාපීය රටවල් ඒකාබද්ධව කටයුතු කළ යුතු බවද මෙහිදී අවධාරණය කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ඉන්දීය විදේශ ලේකම්වරයා පැවසූයේ ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජ සංවර්ධනය වෙනුවෙන් මේ වන විට ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳ සතුට පළ කළ කරන බවයි.විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ රජයේ වැඩපිළිවෙළට ඉන්දියාවේ උපරිම සහයෝගය ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවද ඔහු සඳහන් කළේය.

එසේම, තාක්ෂණය, බලශක්තිය සහ වෙළෙඳ ඇතුළු ක්ෂේත්‍රයන්ට අදාළව දෙරට අතර පවතින සහයෝගය දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ සැලසෙන අන්දමින් තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳවද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා විය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සංතෝෂ් ජා (Santosh Jha), නියෝජ්‍ය මහ කොමසාරිස් මෛත්‍රී කුල්කර්නි (Maitrey Kulkarni) ඇතුළු නියෝජිතයින්ද, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.