දෙරට අතර පැවැත්වෙන බොක්සිං තරගාවලියකට සහභාගිවීම සඳහා ඉන්දීය බොක්සිං කණ්ඩායමක් මේ මස 30 වැනිදා දිවයිනට පැමිණෙයි. දෙරට අතර තරගාවලිය දෙසැම්බර් මස 1 වැනිදා පස්වරු 5 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. තරගාවලිය බර පංති හතකින් සමන්විතය. සංචාරක ඉන්දිය බොක්සිං කණ්ඩායමට ක‍්‍රීඩකයෝ සිවු දෙනෙක් සහ ක‍්‍රීඩිකාවෝ තිදෙනෙක් ඇතුළත්වෙති. තරගාවලිය කිලෝග‍්‍රෑම් 49, 52, 56 සහ 60 යන බර පංති හතරකින් පිරිමි ඉසව්ද, කිලෝග‍්‍රෑම් 48, 51 සහ 54 යන බර පංතිවලින් කාන්තා ඉසව්ද පැවැත්වීමට නියමිතය. සැප්තැම්බර් මසක්ලිෆර්ඞ් කුසලාන බොක්සිං තරගාවලියේදී මෙම බර පංතිවලින් දස්කම් දැක්වු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ හත්දෙනා ශ්‍රී ලංකා පිලට ඇතුළත්ව සිටිති. ලබන වසරේදී ඉන්දියාවේදී පැවැත්වෙන දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල ඉලක්ක කරමින් ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට අන්තර්ජාතික තරග අත්දැකීම් ලබා දීමේ අරමුණින් තරගාවලිය සංවිධානය කෙරේ.   තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම: පිරිමි එරංග මධුෂාන් (කි.ග‍්‍රෑ. 48 ලයිට් ෆ්ලයි), පී.ඞී.සුරේෂ් (කි.ග‍්‍රෑ. 52 ෆ්ලයි), එන්.ජී.එස්.ජයවීර (කි.ග‍්‍රෑ. 56 බැන්ටම්) සහ ඒ. ඞී. ගුණතිලක (කි.ග‍්‍රෑ.60 ලයිට්)   කාන්තා අනුෂා කොඩිතුවක්කු (කි.ග‍්‍රෑ. 48 ලයිට් ෆ්ලයි), එරන්දි සිල්වා (කි.ග‍්‍රෑ. 51 ෆ්ලයි) සහ විදුෂිකා ප‍්‍රබාදි ( කි.ග‍්‍රෑ. 54 බැන්ටම්)