(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාව දෙදිනක් පුරා ඉරානයට එල්ල කළ ප්‍රහාරයන්ට පිළිතුරු ලෙස කුවේටයේ සහ බහරේනයේ පිහිටි ඇමෙරිකානු හමුදා ගොඩනැගිලි අටක් විනාශ කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ඉරානය එල්ල කළ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවකින් එම ඉලක්ක විනාශ කර දැමුණු බවත් එහිදී කුවේටයේ පිහිටි අලි අල් සාලෙම් ඇමෙරිකානු ගුවන් හමුදා කඳවුර සහ බහරේනයේ සල්මන් වාරයේ පිහිටි ඇමෙරිකානු නාවික හමුදාවේ පස්වැනි බලඇණි මූලස්ථානය ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය ඉලක්ක කළ බවත් එම නිවේදනයේ දැක්වේ.

ඉරානය අද පෙරවරු 2ත්, 3ත් අතර කාලයේදී ප්‍රහාර මාලාව දියත් කළ බවද ආරක්ෂක බළකාය පැවැසුවේය. ඇමෙරිකාවේ ප්‍රචණ්ඩත්වයට පිළිතුරු ලෙස ප්‍රහාර මාලාව දියත් කළ බවද ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ. ඇමෙරිකාව අද දිනද ඉරානයේ වෙරළබඩ ස්ථාන 5 කට ප්‍රහාර එල්ල කළ බවත් ඇමෙරිකාව දිගින් දිගටම පසුගිය 18 වැනිදා අත්සන් තැබූ මූලික අවබෝධතා ගිවිසුම උල්ලංඝනය කරමින් සිටින බවද විප්ලවවාදී ආරක්ෂක බළකාය පැවැසුවේය.