(සුජිත් හේවාජුලිගේ )

විශ්ව විද්‍යාලවල අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයන්හි සාමාජිකයන්ගේ පුරප්පාඩු සාකච්ඡා කිරීම සඳහා දිවයිනේ සියලුම විශ්ව විද්‍යාල වල උපකුලපතිවරුන් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව හමුවට කැඳවා සාකච්ඡා කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය

විශ්ව විද්‍යාලවල අධ්‍යයන සහ අනධ්‍යයන අංශවල දෙදහසකට වැඩි පිරිසකගේ පුරප්පාඩු පැවතීමෙන් ඒවායේ කටයුතු වලට දැඩි බාධා මතුව ඇතැයි වාර්තාවේ.

මේ අතර විශ්ව විද්‍යාලවල අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලවල පුරප්පාඩු හැකි ඉක්මනින්ම පුරවන ලෙස සියලුම විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන්ට උපදෙස් දුන් බවද සෙනවිරත්න මහතා පැවසීය.

විශ්ව විද්‍යාල වල අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා 2018 වසරේ සිට බඳවා ගැනීම් නතර කර තිබීම හේතුවෙන් මෙම පුරප්පාඩු ඇතිවූ බවද ඔහු සඳහන් කළේය

සියලුම විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන්ගේ පුරප්පාඩු පවතින නමුත් වැඩිම හිඟයක් පවතින්නේ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේය. එම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන්ගේ දැඩි හිඟයක් පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මීට අමතරව සබරගමුව විශ්ව විද්‍යාලයේ සියලුම පීඨයන්හි ආචාර්යවරුන්ගේ ලොකු හිඟයක් පවතින බව අමාත්‍යාංශය අනාවරණය කරයි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පවතින විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන සංඛ්‍යාව 17කි.

මේ අතර සරසවි ආචාර්යවරුන් දෙදහසකට වැඩි පිරිසක් පසුගිය කාල සීමාවේදී රට අතහැර ගොස් ඇතැයි වාර්තාවේ.