(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරන "සරසවි දිරියෝ අභිමන්" සුවිශේෂී ශිෂ්‍යාධාර වැඩසටහනේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද(11) පැවැත්විණි.

මෙම වැඩසටහන යටතේ දැනට ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සියලුම සිසුන් ඇගයීමට ලක් කරන අතර, එක් සිසුවෙකුට රුපියල් ලක්ෂයක එක්වරක් පිරිනමන ශිෂ්‍යාධාරයක් ලබා දීමට ජනාධිපති අරමුදල කටයුතු කරයි.

"සරසවි දිරියෝ අභිමන්" සමාරම්භක උත්සවයේදී ආබාධ සහිත විශ්වවිද්‍යාල සිසුන් 236 දෙනෙකු ඇගයීමට ලක් කෙරුණු අතර, මෙම වැඩසටහන සඳහා සුදුසුකම් ලබා ඇති සමස්ත සිසුන් සංඛ්‍යාව 400කට ආසන්න වේ. කොළඹට පැමිණීමේදී මුහුණ දීමට සිදුවන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් වැඩසටහන අගෝස්තු මාසයේදී පැවැත්වීමට ද සැලසුම් කර ඇත.

මේ අතර අද දින ශිෂ්‍යාධාර පිරිනැමීමේදී ප්‍රතිලාභී සිසුන් අසලට ගොස් ශිෂ්‍යාධාර පිරිනැමීම විශේෂත්වයක් විය.

ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කෙරෙන "සරසවි දිරියෝ අභිමන්" වැඩසටහන, ආබාධ සහිත සිසුන්ගේ කැපවීම, හැකියාව සහ අධ්‍යාපන ජයග්‍රහණයට ජාතික ඇගයීමක් ලබාදෙන අතර, කිසිදු ශාරීරික සීමාවක් අධ්‍යාපන සිහිනවලට බාධාවක් නොවිය යුතු බවට රජය දරන ස්ථාවරය යළිත් තහවුරු කරන සුවිශේෂී සමාජ සවිබල ගැන්වීමේ වැඩසටහනකි.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළේ සමාජයේ සියලු දෙනාට හිමි අයිතිවාසිකම් ආබාධ සහිත පුද්ගලයන්ටත් හිමි විය යුතුයි යන පදනමේ සිට වත්මන් රජය රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කරමින් සිටින බවයි.