(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

පානදුර සහ කළුතර පොලිස් කොට්ඨාස වල ඉකුත් කාලය පුරා සිදුවූ ඝාතනවලට යතුරු පැදි සැපයූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික" වලපල පසියා" නමැත්තා තවත් ඝාතන කීපයකට සූදානම් කළ යතුරුපැදී සමග අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.

එම සැකකරු සමග යතුරුපැදි දෙකක්, අලුත්ම ආරක්ෂක හිස් වැසුම් 2 ක්, ජැකට් 2 ක් , ස්මාට් ජංගම දුරකථන 2,ක් බැටරි ආරෝපණ 2 ක් ඇස් දෙක පමණක් විවෘත මුහුණ වැසෙන නින්ජා කට්ටල දෙකක් , අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 10 කට අධික ප්‍රමාණයක් සහ හොරයින් මත්ද්‍රව‍ය ගෑම් 5 කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.

ඩුබායි සුද්දාගේ මත්ද්‍රව‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා වන වලපල පසිඳු නොහොත් පසියා නැමැත්තා පානදුර සාගර මාවතේ නිවාඩු නිකේතනයක රැඳී සිටින බවට පානදුර කොට්ඨාස බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහාන් විශ්වනාත් මහතා ඇතුළු කණ්ඩායමක්  එම නිවාඩු නිකේතනය ඉදිරිපිට දී මත්ද්‍රව‍ය සමග සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රැඳවුම් නියෝග ලබාගෙන මත්ද්‍රව සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධ සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඩුබායි සුද්දාගේ උපදෙස් මත ඝාතන සඳහා සූදානම් කිරීමට භාරදී තිබූ යතුරුපැදි දෙකක් මෙන්ම අලුත්ම ආරක්ෂක හිස් වැසුම් ඇතුළු ජැකට් පින්වල ප්‍රදේශයේ යතුරුපැදි කාර්මිකයකුගේ නිවසේ තිබී සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

වලපල පසියා නමැත්තා විසින් එම යතුරුපැදි දෙක වර්ණ වෙනස් කර ,ස්ටිකර් අලවා, වේගය වැඩිකර ධාවනය කිරීමට හැකිවන පරිදි සකස් කිරිම සදහා යතුරුපැදී දෙක මීට දින කීපයකට දී එම කාර්මිකයා වෙත ලබා දී තිබූ බව පොලිසි විමර්ශනවලදී අනාවරණයය වී ඇත.