(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආපදාවට පත් ජනතාව වෙනුවෙන් වන්දි සහ සහන සැලසීමේ කටයුතු ඉහළ ප්‍රගතියකින් යුතුව ක්‍රියාත්මක වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

 ඒ සඳහා අවශ්‍ය සියලුම මූල්‍ය ප්‍රතිපාදන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වෙන් කර ඇති බවද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය. 

අග්‍රාමාත්‍යවරිය මේ බව කීවේ අපදා සහන සේවා සහ අපදා තත්වය වෙනුවෙන් සිදු වූ පරිත්‍යාග පිළිබඳ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

" තාක්ෂණික හා පරිපාලනමය හේතු මත ඇතැම් සහන සැලසීමේ  කටයුතුවල ප්‍රමාදයන් සිදු විය හැකි වුවත්, බාධක අවම කර ගනිමින් කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා. 

විපතට පත් ජනතාව වෙනුවෙන් සිදුකෙරෙන වන්දි ගෙවීම් යටතේ එළවළු, මිරිස්,ළූණු සහ වී වගා හානි සඳහා වන දීමනා මේ වන විට ඉහළ ප්‍රගතියක් අත්කර ගෙන තිබෙනවා.  එසේම ජීවිත හානි හා පූර්ණ දේපළ හානි වෙනුවෙන් වන දීමනා මෙන්ම සත්ව ගොවිපළ හිමියන් සඳහා වන දීමනා ද මේ වන විට ලබා දී තිබෙනවා. මීට අමතරව, ආපදාවෙන් විපතට පත් වූවන්ගේ සුළු හා ශුද්‍ර ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සඳහා වන මූල්‍ය ආධාර ද සැලකිය යුතු මට්ටමකින් ලබා දී අවසන් යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.