(අංජුල මහික වීරරත්න)

ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය (National Fuel Pass) හරහා ඉන්ධන කෝටාව ලබාගැනීමේ QR කේත ක්‍රියාවලිය මේ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්ව ඇති අතර එය දැනට ක්‍රියාකාරී මට්ටමේ පවතින බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශ පවසන්නේ පවසන්නේ ජාතික ඉන්ධන බලපත‍්‍ර පද්ධතිය (National Fuel Pass) යටතේ ඉදිරියේදී ඉන්ධන ලබාගැනීමේ ක‍්‍රියාවලිය විධිමත් කිරීම සඳහා රථවාහන හිමියන් අනුගමනය කළ යුතු පියවර 3ක් පිළිබඳව බලධාරීන් විසින් අවධාරණය කර තිබෙන බවයි.

එම නිවේදනයේ මෙසේද සඳහන්ය.

ඒ අනුව තමන් අයත් වන කාණ්ඩය හඳුනාගෙන ඒ අනුව QR කේතය භාවිතයෙන් ඉන්ධන ලබා ගැනීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු,

එහිදී දැනටමත් QR කේතයක් හිමි, තම වාහනයේ අයිතිය සහ ලියාපදිංචි කළ දුරකථන අංකයෙහි කිසිදු වෙනසක් සිදු නොවූ වාහන හිමියන්ට, තමන් සතු එම පැරණි QR කේතයම ඉදිරිපත් කර බාධාවකින් තොරව ඉන්ධන ලබාගත හැක.

මීට පෙර ලියාපදිංචි වී ඇති නමුත්, තම QR කේතය අස්ථානගත වී හෝ දුරකථනයෙන් මැකී ඇත්නම් (දුරකථන අංකය සහ වාහන තොරතුරු නොවෙනස් නම්), නැවත ලියාපදිංචි වීම අවශ්‍ය නොවේ. පද්ධතියට ලොග් වී (Log-in) ජංගම දුරකථනයට ලැබෙන OTP කේතය මගින් නැවතත් සිය QR කේතය ලබාගත ගැනීමේ හැකියාව ඇත.

මීට පෙර ලියාපදිංචි නොවූ පුද්ගලයන්, තම වාහනය අලූතින් මිලදී ගත් පුද්ගලයන් (අයිතිය වෙනස් වූ) හෝ මීට පෙර ලියාපදිංචි කළ දුරකථන අංකය දැනට භාවිත නොකරන පුද්ගලයන් පද්ධතියේ අලුතින් ලියාපදිංචි වීම අනිවාර්ය වේ.

ඉන්ධන පිරවුම්හල්වල තදබදය අවම කර ගැනීමටත්, කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමටත් ඉහත උපදෙස් නිසි පරිදි පිළිපදින ලෙස රථවාහන හිමියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.