නාවලපිටිය සිසිර ලලිත් කුමාර

කොඳු ඇට  පේළිය ඇද වීමේ අසාමාන්‍ය රෝගයකින් පෙළෙන දරුවකු එක් දිනක් හෝ පාසල් නොගොස් උසස් පෙළ විභාගයෙන් සමත්වීමේ පුවතක් ගිනිගත්හේන පිටවල ප්‍රදේශයෙන් වාර්තාවේ.

මෙලෙස අපොස උසස් පෙළ විභාගයෙන් එස්  සාමාර්ථ තුනක් ලබා  සමත්ව ඇත්තේ  ගිනිගත්හේන පිටවල පල්ලේවත්ත දාගම්පිටිය නීලවත්ත යන ලිපිනයේ පදිංචි එම්.කීර්ති චන්ද්‍රසිරි නම් දරුවාය.

කොඳු ඇට පේළියේ අසාමාන්‍ය වෙනස් වීමත්, මස් පිඬු දියවීමත් යන රෝගයෙන් පෙළෙන කීර්ති චන්ද්‍රසිරි ට  සාමාන්‍ය දරුවකුට සේ ඇවිද යාමට නොහැකිය.

 එපමණක් නොව සිය නිවෙස  පිහිටි දැඩි බෑවුමේ සිට ඔහුට මීටර් හාරසියකක පමණ දුරක් ඉහළට පඩිපෙළේ යාමට හෝ ඒමට බැරිය. ඒ වෙනකක් නිසා නොව ඔහුගේ අසනීපය නිසාමය. එහෙත් ඔහුට මහා ශක්තියක් වන්නේ වෙනකෙකු නොව ඔහුගේම අයියාය. චන්ද්‍රසිරි සාමාන්‍ය පෙළ විභාගයට ගියේ ද අයියාගේ කරමතින්‍ය. එහෙම ගොස් ඔහු සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් වන්නේ උසස් පෙළ විභාගය ද කෙසේ හෝ ලියන අටියෙන් ය. එහෙත් මෙහි ඇති පුදුමය වන්නේ ඔහුට උසස් පෙළ විභාගයට මුහුණ දීමට පාසල් යාමට නම් නොහැකිවී ඇත්තේ ඒ අහිංසක අම්මට තාත්තාට ඔහු වත්තන් කරගෙන පාසල් යාමට හෝ ඒමට නොහැකි හේතුව නිසාමය. චන්ද්‍රසිරි දරුවා එකදු දිනයක් හෝ පාසල් ගියේ නැත. එහෙත් ඔහු ඔහුට හැකි අයුරින් උසස් පෙළ විභාගයට ගෙදර සිට පාඩම් කළේය.

පාසලේ එකම දිනයක් හෝ ඉගෙන නොගත් චන්ද්‍රසිරි දරුවා සිය අත රැඳි පාසල් පොත් හා ගුරුවන්ගේ උපකාරයෙන් නිවෙසේ සිට පාඩම් කටයුතු කළේ උසස් පෙළ විභාගයට සිංහල, භූගෝල විද්‍යාව හා ජන සන්නිවේදනය යන විෂයයන් තෝරා ගත්තේ පැමිණි දුක් පැණි රසයි යන නියාම දහම තේරුම් කරගෙනය. අයියා ගේ කරමතින් ගොස් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් චන්ද්‍රසිරි මල්ලී යළි උසස් පෙළ විභාගයට ද සිය කර මතින් රැගෙන යන්නට  අයියා නොපැකිලව ඉදිරිපත් විය. එතැන් පටන් සිදු වූ විස්තර කීවේ චන්ද්‍රසිරි දරුවාගේ මව වන ගුණවතී මහත්මියයි.

මගේ දරුවා උසස් පෙළ විභාගයට කියලා එක දවසක්වත් ඉස්කෝලේ ගියේ නැහැ. ඒත් අයියාගේ කර මතින් ගෙදර ඉඳලා ප්‍රධාන මාර්ගයට ගිය මගේ  දරුවා පිටවල සිට ගිනිගත්හේන මධ්‍ය විද්‍යාලයට රැගෙන ගියේ ත්‍රිරෝද රථයකින්. ප්‍රධාන පාරේ ඉඳලා ගිනිගත්හේන පාසලට රුපියල් තුන්දහස් පන්සියයක් ගන්නවා. විභාගය තිබ්බ දවස් ටිකට රුපියල් තිස් හය දහසක් වියදම් වුණා. ඒ කොහොම වෙතත් මගේ දරුවා එක දවසක්වත් ඉස්කෝලේ නොගිහින් විභාගය සමත්වීම මුළු ලංකාවෙන්ම පළමු වැනියා  හා සමානයි මට. මොකද මගේ දරුවා සාමාන්‍ය දරුවෙක් නෙවෙයි. අසාමාන්‍ය ශරීරයක් සහිත රෝගී දරුවෙක්. අතපය හොඳට තියෙන දරුවන්ට මගේ පුතා හොඳ ආදර්ශයක් කියලා මම කියන්න කැමැතියි.