මේ අතිවිශේෂ දුලබ වූ ගාන්ධර්ව විවාහයේ සැමරුම සඳහා විමලා අමරදේවයන් විසින් මෙම ස්ථානය තෝරා ගැනීම මොන තරම් අපූරු දැයි මට සිතුණි. මේ රටේ සමහර අය සුපිරි තරු පහේ හෝටල්වල හෝ තම ගෘහයන්හි හිස් වදන් දොඩවමින් පවත්වන විවාහ සැමරුම් උත්සවවලට වඩා මෙය මොන තරම් උදාර දැයි මට සිතුණි.

මිහිඳු සෙත් මැදුර යනු වසර 30 ක පමණ යුද සමයේ ආබාධිත වූ රණවිරුවන් 25,000 ක පමණ දෙනා අතරින් පූර්ණ ආබාධයන්ට ලක් වූ 400 ක පිරිසෙන් විරුවන් 50 දෙනෙකු පමණ ජීවත්වන නිවහනයි. අත්තිඩිය වැව පාරෙන් එහා ඉමේ සුන්දර නිසංසල පරිසරයක අපූරුවට නිර්මාණයවී ඇති මෙහි සියලූම පහසුකම්වලින් සමන්විත කාමර 50 ක් පමණ ඇත. මෙම 50 දෙනා රැුක බලා ගැනීම සඳහා ඔවුන්ගේම සහෝදර රණවිරුවන් පිරිසක් ඇප කැපවී සිටිති. මෙම රණවිරුවන්ට සිය ජීවිත කාලය පුරාම සමාජයට හෝ තම නිවෙස්වලට කරදරයක් නොමැතිව අභිමානයෙන් ජීවත්වනු පිණිස ඉදි කළ මේ නිවහන ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සංකල්පයක් අනුව රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයට අනුබද්ධ වූ ආතනයකි.

ප‍්‍රථමව මානෙල් ජයමාන්න මහත්මිය රණවිරුවන් සහ පැමිණ සිටි අය පිළිගනිමින් කතාවක් කළ අතර, ඇය විසින් මෙසේ පවසන ලදී. මේ නම් දිව්‍යමය

 

ගුණයක් නොවේද? මේ දිව්‍යමය ගුණය බෞද්ධ දර්ශනයේ සඳහන් කරන්නේ මෙලෙසිනි. අංගුත්තර නිකායේ පාඨම සංවාස සුත‍්‍රයෙහි දිව්‍යමය යුග දිවියක ලක්‍ෂණ දක්වා තිබෙනවා. එනම් පළමුව ළාමකයෙකු ළාමක ස්ත‍්‍රියක හා විසීම, දෙවනුව ළාමකයෙකු දෙව්දුවක හා විසීම, තුන්වනුව දෙව් පුත‍්‍රයෙකු දෙව්දුවක හා විසීම. ඒ අනුව මෙම විවාහය දෙව්දුවකු හා දෙවි පුත‍්‍රයෙකු අතර වූ විවාහයක් ලෙස සඳහන් කළ ඇය, බෞද්ධ සමයේ විසූ නකුල මාතා හා නකුල පිතා අප සමඟ වර්තමානයේ ජීවත් නොවන්නේද යැයි අසා සිටියාය. පසුව පණ්ඩිත් අමරෙද්වයන් විසින්.


පෙම්බර මා පුතණුවනේ -
නුඹ සිටි සුර ලොව කොතැනේ
හෙළ දෙරණට පුතු ආවේ -
පෙර මහ පින් කළ බැවිනේ
බාලොලි ලොලි බිළිඳු පුතේ -
බාසුරුවන් බුහුටි පුතේ
පායන හිරු සදිසි පුතේ -
රට බාරයි නුඹට පුතේ
මහ පැරකුම් නුඹයි පුතේ -
දුටු ගැමුණුත් නුඹයි පුතේ
මගෙ සිහිනය නුඹයි පුතේ -
මද්දුම බණ්ඩාර පුතේ
රට බාරයි නුඹට පුතේ


යන ගීතය ගයන ලද අතර, එතුමා මහත් වූ ජවයකින් ගීතය ඉදිරිපත් කරමින් මේ සුන්දර සන්ධ්‍යාව ආරම්භ කළේය. පසුව ජගත් වික‍්‍රමසිංහයන් ”අමරගුරු උපහාර ගීය” වන


හෙළයේ ගධභ කුල - සුපිපි තඹරා මල
අමරණීය සර - අමරදේවයාණනේ
ළබැඳි සොයුරු හද - කුහක නොවන සඳ
සුවඳ පතුරුවන - අමර ගීත ගායනේ, ගීය සමඟ ප‍්‍රසංගයට එක්වූ අතර, ඉන්පසුව නැවතත් අමරදේවයන්

සසර වසනතුරු - නිවන් දකින තුරු
පින්කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට හේතු වාසනා වේවා


 
ගීතය ගයද්දී අප විරුවන් නොසෙල්වී බලා සිටි අතර සමහර විරුවෝ ඒ දෙස කඳුළු පිරි දෙනෙතින් බලා සිටියහ. ඉන්පසුව වක්කඩ ළඟ දිය වැටෙන තාලයට රණවිරු චරිත් කුලතිලක හා කවිතා තරගයෙන් ප‍්‍රථම ස්ථානය දිනාගත් අසංක ධනංජය එක්ව ගයන ලද අතර, එතුමාගේ පුතණුවන් රංජන අමරදේව සමඟ ද ගායනා ඉදිරිපත් කරන ලදී. මා ද වරින් වර ගී ගායනා ඉදිපත් කළ අතර, මේරියන්ස් නලීන් පෙරේරා සහ ගායිකා ඉන්දීවරී අබේවර්ධන රණවිරුවන් හා එක්විය.


ඉන්පසුව එළඹියේ මෙම වැඩසටහනේ සංවිධායකවරිය වූ විමලාවන්ගේ භූමිකාවයි. ඇය මයික‍්‍රෆෝනය අතට ගෙන රණවිරුවන් ඉදිරියේ මෙසේ පවසා සිටියාය. දෙවියන් වහන්සේ විසින් 1927 දෙසැම්බර් 05 වන දින දෙවි පුත‍්‍රයෙකු මැවූහ. ඉන්පසුව තවත් අහිංසක යුවතියක් ස, රි, ග, ම, ප, ධ, නි, ස්වර හත මෙන් අවුරුදු හතකට පසුව 1934 දෙසැම්බර් 05 ඇය ඉපදුණු බව කීවාය. ඉන් පසු කවි ගායනාවකට එක්වෙමින්


ලස්සණ හිමවතේ මා වී පැසෙන්නේ
රැක්වෙන දෙවියනේ වෙල බත පුදන්නේ
දුක්දෙන අලි ඇතුන් පන්නා හරින්නේ
දුප්පත්කම නිසයි මා පැල් රකින්නේ


යන ජන ගීය ගැයූ අතර මෙයින් පසුව අමරදේවයන් විසින්


පිලේ පැදුර හේනට අරගෙන යනවා
එළා පැදුර මැස්සේ එහි සැතපෙනවා
රටා වියපු අත් දෙක මට සිහි වෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා ගයනලදී.


මෙම ගීය නිර්මාණය ද ඉහත ”ලස්සන හිමවතේ” කවිපද ඔස්සේ කෙරුණු බව සඳහන් විය.

 

 


ඉන්පසුව මම විමලාගෙන් විමසා සිටියේ මැඩම් කොහොමද සර්ව හමුවුණේ කියායි. එයට ඇය සිනාසෙමින් ඉතා උනන්දුවෙන් උත්තර දුන්නාය.

පේ‍්‍රමකුමාර එපිටවලයන්, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ඇතුළු පිරිස ඩබ්ලිව්.ඞී. ඇල්බට් පෙරේරා යන සංගීත ශිල්පියාව වැඩිදුර සංගීත අධ්‍යාපනය සඳහා ඉන්දියාව බලා පිටත් කර හැරීමට මොරටුව කොරලවැල්ලේ ශ්‍රී සද්ධර්මෝදය පාසලේ උත්සවයක් සංවිධානය කළෝය. ඒ වන විට මියුසියස් විද්‍යාලයේ නර්තන කණ්ඩායමේ ශිෂ්‍යාවක වූ ඇයට මෙම උත්සවය සඳහා නර්තන අංගයක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබිණ. දෛවයේ හාස්කමකින් මෙන් ඩබ්ලිව්.ඞී. ඇල්බට් පෙරේරා සංගීත ශිල්පියාට මල් මාලය පැළඳවීමටද ඇයට අවස්ථාව ලැබිණ. ඊට පසුව ශාන්ත මේ ? යාමේ ගීතය ගුවන් විදුලියේ වාදනය වන විට ඇයගේ හිතට අමුතු හැඟීමක් ඇති වුණ බවත්, පසුව අමරදේවයන් නැවත මෙරටට පැමිණි පසු ජන ගී ඇසුරු කොට යම් යම් නිර්මාණයන්හි යෙදුණු අතර, එම ජන ගායනා සඳහා විමලාවෝද නිතර සහභාගී වූවාය. මෙම ජන ගීවලින් ම ආදරය ද හටගත් බව ඇය විසින් සිනා සිසී පවසන ලදී.

ඉන්පසුව එළඹියේ මේ සුන්දර වූ ප‍්‍රසංගයේ නිමාවයි. එම අවස්ථාවේ අමරදේවයන් විසින් නිර්මාණය කළ අපූරු කවිය සරත් ද අල්විස් ප‍්‍රමුඛ සංගීත ශිල්පීන්ගේ වාදනයට අනුව ගයනු ලැබිණි.


අතැර නොයන සෙවණැල්ලක් සේ රඳන
නිතර සදාලන සුව සෙත රැක වරණ
කවිය තුළින් ජන ආරේ රස මවන
සවිය ඔබයි විමලාවනි මන නඳන


පසුව මේ රට බේරාගත් උදාර රණවිරුවන් සමඟින් මේ මහා ගාන්ධර්වයා හා විමලා අමරදේවයන් රාත‍්‍රී ආහාර ගනු දුටු මට සිතුණේ මේ නම් මොන තරම් අසිරිමත් අවස්ථාවක්ද යන්නයි.