(අංජුල මහික වීරරත්න)

රජය බලයට පැමිණියේ කෙසේ හෝ වසර පහ ඇදගෙන යාමට නොව අභ්‍යන්තරව මෙන්ම බාහිරවද ඇති විය හැකි ඕනෑම කම්පනයකට ඔරොත්තු දිය හැකි නොසැලෙන ආර්ථිකයක් ගොඩනැගීමට බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

අද රටේ ආර්ථිකය ගමන් කළ යුතු දිශාව පිළිබඳ නිසි දැක්මක් සහ සැලැස්මක් ඇතිව රජය වැඩ කරමින් සිටින බවද ජනාධිපතිවරයා කීය.

පසුගිය ආණ්ඩු වාණිජ වෙළෙඳපොළෙන් අධික පොලියට ණය ලබා ගෙන තමන්ගේ අවුරුදු පහ ඇදගෙන ගියද, වත්මන් රජය යටතේ මේ වන විට ප්‍රධාන ආර්ථික සාධක ගණනාවකින් ජයග්‍රහණ ලබා ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ ගමන් මාවත  තුළ රට ඉතාමත් ශක්තිමත් ආර්ථිකයක් කරා ප්‍රවිෂ්ට වී තිබෙන බවද සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන කොටසේ දෙවැනි අදියර යටතේ රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ කිලෝමිටර් 18.7ක කොටසේ සංවර්ධන කටයුතු ආරම්භ කරමින් ගලගෙදර මහජන ක්‍රීඩාංගණයේදී  පැවති ජන හමුව අමතමිනි. 

අද ලංකාවේ පළමු වතාවට අනාගතය ගැන හිතන ආණ්ඩුවක් බිහි වී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා  ණය තිරසරභාවය සහ ණය කළමනාකරණය ප්‍රශස්ත මට්ටමේ පවත්වාගෙන යමින් රටට අවශ්‍ය සංවර්ධනය උදාකර දීමට රජය කැපවී සිටින බවද සඳහන් කළේය.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ  අධීක්ෂණය යටතේ දේශීය අරමුදල් සහ දේශීය කොන්ත්‍රාත් සමාගම්වල දායකත්වයෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර සඳහා රුපියල් බිලියන 112.44ක් වැය කිරීමට නියමිතය. මංතීරු 04 කින් සමන්විත මෙම මාර්ග කොටසේ ඉදිකිරීම් 2029-05-28 දින අවසන් කිරීමට සැලසුම් කර ඇත.

එමෙන්ම මේ වන විට සිදු කෙරෙන පොතුහැර සිට රඹුක්කන දක්වා වූ පළමු අදියරේ ඉදිකිරීම් ලබන වසරේ මැද භාගය වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.