(අංජුල මහික වීරරත්න)

මෙරට අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය උපරිම සහාය ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒ සඳහා රජයට ප්‍රතිපත්තිමය සැලසුමක් තිබෙන බවද ජනාධිපතිවරයා කීය.

ඩොලර් ආදායම ඉහළ නංවමින් ශක්තිමත් අපනයන ආර්ථිකයක් ගොඩනැගීම වෙනුවෙන් ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට ලබා දිය හැකි කඩිනම් විසඳුම් පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපති කාර්යාලයේදී අද (22)මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් එක්ව සිටි මෙම සාකච්ඡාවේදී ඇඟලුම් ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නව අපනයන සැලැස්ම සාර්ථක කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

කර්මාන්ත ශාලා ග්‍රාමීය ප්‍රදේශ කරා ව්‍යාප්ත කිරීමෙන් අපනයන ආර්ථිකය ශක්තිමත් කළ හැකි බව වැඩිදුරටත් පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ සඳහා එක්වන ලෙසද ආයෝජකයන්ට ආරාධනා කළේය. ඒ වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සහ කර්මාන්ත ශාලා ගොඩනැගිලි රජයේ අනුග්‍රහය ඇතිව ලබා දීමේ "Plug and Play" ක්‍රමවේදයක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ රුපියල්වලින් සිදුකරන ආයෝජන ඉහළ ගියද, ඒවා නිසා ඩොලරයට ඇති වන බලපෑම පාලනය කිරීම සඳහා ඩොලර් උපයන මාර්ග ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බවයි. රුපියල් වියදම් සීමා කරමින් ඩොලර් ආදායම වැඩි කර ගැනීම මගින් ආර්ථික පිබිදීමක් ඇති කළ හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.