(විමුක්ති එස් රුද්‍රිගු)

උසස් පෙළ සමත් වන සිසුන්ගෙන් උසස් අධ්‍යාපනයට ප්‍රවේශ වන්නේ සියයට 15ක පමණ පිරිසක් බවත්, ඉතිරි පිරිසට අධ්‍යාපන අවස්ථා ලබාදීම රට හමුවේ ඇති ප්‍රධාන අභියෝගයක් බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

පෞද්ගලික අංශය තුළ මෙරට උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථා තිබුණද ඒවා සාමාන්‍ය ජනතාවට දැරිය හැකි විය යුතු බවද ඔහු පැවැසුවේය.

රටේ බහුතර ජනතාවට මසකට රුපියල් 25,000කට වැඩි මුදලක් දැරිය නොහැකි බවද ඔහු ප්‍රකාශ කළේය.

මෙරට සිසුසිසුවියන්ගේ උසස් අධ්‍යාපනය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය අවශ්‍ය බවත්, එම අධ්‍යාපන අවස්ථා වැඩි පිරිසකට ලබාගැනීම සඳහා උසස් අධ්‍යාපන මූල්‍ය පහසුකම් ලබාගැනීමට තිබෙන අවස්ථා වැඩි කිරීමට රජය කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයෙන් ලබාදෙන දැනුම සහ කර්මාන්තයට අවශ්‍ය කුසලතා අතර පරතරයක් පවතින බවද ඔහු පැවසීය. නායකත්වය, සංකීර්ණ ගැටලු විසඳීම, සහයෝගයෙන් කටයුතු කිරීම, සාකච්ඡා කිරීම සහ වෙනස්කම්වලට වේගයෙන් අනුවර්තනය වීම වැනි මානව කුසලතා ඉදිරියේදී වැඩි වැදගත්කමක් ගන්නා බවද ඔහු සඳහන් කළේය.

මුදල් ගෙවන සිසුන් අතරට මූල්‍ය වත්කමක් නොමැති සිසුන් කීපදෙනෙකුට හෝ අවස්ථාව ලබාදෙන ලෙස තමන් උසස් අධ්‍යාපන ආයතනවලින් ඉල්ලා සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.