(අංජුල මහික වීරරත්න)

අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසර ඇතුලත ආරම්භ කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන්නේය.

අදාළ සැලසුම සම්බන්ධයෙන් නැවත සමාලෝචනයක් කර නව යෝජනාද ඇතුළත් කර ගනිමින් ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කරන ලෙසද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

ඒ අනුව, ව්‍යාපෘතිය අනවශ්‍ය ලෙස ඇදී යාමට ඉඩ නොදී අදාළ සැලැස්ම ලබන මස 8 වනදා අනුරාධපුර පූජා භූමි සංවර්ධන කමිටුවට ඉදිරිපත් කර 15වනදා වන විට ව්‍යාපෘතියේ සම්පූර්ණ සවිස්තරාත්මක සැලැස්ම සකස් කර අවසන් කරන ලෙස ජනාධිපතිවරයා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත වැඩිදුරටත් උපදෙස් දුන්නේය. බැතිමතුන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම මෙන්ම පූජා නගරය තුළ හරිත ප්‍රවාහන පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර, පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව, පූජා නගරය තුළ පරිසරයට හානි වන දුම් පිටවන ඩීසල් වාහන සීමා කර, ඒ වෙනුවට විද්‍යුත් බස් රථ යොදා ගනිමින් ක්‍රමවත් වටරවුම් ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කිරීමටත්, නගර සභාව යටතට බස් රථ ලබා ගෙන ක්‍රමානුකූල දෛනික සේවාවක් ලෙස පවත්වාගෙන යාමටත් උපදෙස් දුන් ජනාධිපතිවරයා අටමස්ථානය වැඳපුදා ගැනීමට පැමිණෙන වන්දනාකරුවන්ට පහසු, විධිමත් ප්‍රවාහන පහසුකම් පද්ධතියක් පූජා නගරය තුළ ස්ථාපිත කිරීමේ වැදගත්කමද අවධාරණය කළේය.