(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

22 ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට හානිවන බව සඳහන් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවභාවිතා වන බව ප්‍රකාශ කරන ලෙස ද එම පනත් කෙටුම් පත ආණ්ඩුක්‍රම වස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙස ද එම පනත් කෙටුම්පත සම්මත කරගැනීමට ජනමත විචාරණයකට යොමු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ද ඊට පක්ෂව ද ගොනු කොට ඇති සියලු පෙත්සම් හෙට දින පෙරවරු 10 ට අගවිනිසුරු ප්‍රීතී පද්මන් සුරසේන මහතා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට නියමිතය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි,  අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලනු ඇත.

මේ වනවිට පෙත්සම් 60කට අධික සංඛ්‍යාවක් ග්‍රෙෂ්ඨාධිකරණ හමුවේ ගොනු කරනු ලැබ ඇත.

වෛද්‍ය චමල් සංජීව, ජාතික භික්ෂු පෙරමුණ, හිටපු අමාත්‍ය සරත් විරසේකර, හිටපු අමාත්‍ය හර්ෂණ රාජකරුණා, කොළඹ නීතිඥ සංගමය, ජාතික ජන බලවේගයේ විධායක කමිටු සභික නීතිඥ ලාල් විජේනායක මහතා, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නිතිඥ සංවිධානය, නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර, විශ්‍රාමික හිමිකම් සුරැකීමේ සංවිධානය වෙනුවෙන් සරත් ලාල් පෙරේරා, සහ නිතිඥ ජනක අධිකාරි මහතා, ශ්‍රී ලංකා කොමියුනිස් පක්ෂයේ මහලේකම් දොස්තර ජී වීරසිංහ සහ ඩී. ආනන්ද පාලිත යන මහත්වරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, විනිවිද පදනමේ භාණ්ඩාගාරික සුනිල් ජයසුන්දර, ආචාර්ය අජන්තා පෙරේරා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය, පළාත්සභා මන්ත්‍රී නීතිඥ ශිරාල් ලක්තිලක, මහාචාර්ය අර්ජුන පරාක්‍රම, තරුණ නීතීඥ සංගමය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිලිබද මහාචාර්ය රන්ජන් අභයරත්න,  විනිවිද පදනම, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහකාර ලේකම් ලකිත වාකිස්ටආරච්චි සහ භාණ්ඩාගාරික පසිඳු සිල්වා යන මහත්වරුන් සමඟ ජාතික ජන බලවේගය, සර්වජන බලය, නිදහස් නීතිඥ සංවිධානයේ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල, මිලින්ද රාජපක්ෂ, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, පෙරටුගාමි පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව යන මහත්වරුන් මේ වන විට පෙත්සම් ගොනු කොට ඇත.

පෙත්සම්වල වගඋත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම් කරනු ලැබ ඇත.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නමින් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත.

මෙම පනත් කෙටුම්පතේ දෙවැනි ඡේදය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකුගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වාද අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 දක්වාද දීර්ඝ කරන බවට කරුණු දක්වා ඇත.

ඊට අමතරව මේ පනත් කෙටුම්පතේ තුන්වෙනි ඡේදයේ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ සංඛ්‍යාව 25 දක්වා වැඩි කරන බවද දක්වා ඇත.