ශ්‍රී ලංකා වයස 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මහේෂ් වීරසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත් කර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරු තනතුරේ සේවය අත්හිටුවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට ප්‍රධාන පුහුණුකරු ලෙස මහේෂ් වීරසිංහ මහතාගෙන් එල්ල වූයේ යැයි කියන පීඩනය පිළිබඳව ලැබුණු පැමිණිලි පිළිබඳව අවධානය යොමු කරමින් මෙම තීරණය ගත් බවත් ඔහුගේම ක්‍රියා කලාපය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේම නිලධාරියා සඳහන් කළේය.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (10) නාවික හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පුහුණු තරගයකට සහභාගි වී ජයග්‍රහණය කළ ද පුහුණුකරු ක්‍රීඩිකාවන්ට දැඩිව දොස්නගා ඇති අතර එහිදී එම පීඩනය දරා ගැනීමට නොහැකිවූ නායිකා චමුදි ප්‍රබෝධා ව්‍යාකූල තත්වයකට පත්ව රෝහල් ගත කර ඇති බවත් මේ පිළිබඳව ලැබුණු පැමිණිල්ලකට අනුව කාන්තා ක්‍රිකට් කමිටුව රැස්වී මෙම තීරණයට එළඹි බවත් එම නිලධාරියා කීය.

ප්‍රධාන පුහුණුකරු මහේෂ් වීරසිංහ මහතාගෙන් ක්‍රීඩිකාවන්ට දැඩි පීඩනයක් එල්ල වන බවට මීට පෙර ද පැමිණිළි ලැබී තිබූ බව කී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේම නිලධාරියා ඇතැම් දක්ෂ ක්‍රීඩිකාවන් එම දැඩි පීඩනය දරා ගැනීමට නොහැකිව ක්‍රීඩාවෙන් ඉවත් වූ බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස රුවින් පීරිස් මහතා පත්කර ඇතැයිද වැඩිදුරටත් දැනගන්නට තිබේ.