පුෂ්පකුමාර මල්ලවආරච්චි

 

දිනුමක් නැතැයි කියා විසිකර දමා ගිය ලොතරුයි පතට රුපියල් ලක්ෂයක දිනුමක් හිමිව ඇති බව දුටු ලොතරැයි අලෙවිකරුවකු සිය අලෙවි නියෝජිතයා දැනුවත් කර අයිතිකරු සොයා තෑගි මුදල ලබාදුන් පුවතක් වාර්තා වෙයි.

මෙසේ අයිතිකරු සොයා අවුරුදු ත්‍යාගයක් ලෙස ත්‍යාග මුදල ලබා දිමට පියවර ගත්තේ මීරිගම පොලිසිය ඉදිරිපිට අලෙවිසැලේ අලෙවිකරු පුෂ්පකුමාර පෙරේරා  හා ලොතරැයි අලෙවි නියෝජිත එච්.ඒ.කේ බන්දුල යන මහත්වරුන් විසිනි.

පල්ලෙවෙල පූගොඩ පදිංචිකරුවකු වන රුවන් අසංක මහතා මීරිගම නගරයට පැමිණි අවස්ථාවේදී මෙම අලෙවි සැලෙන් කෝටිපති ශනිදා ටිකට් පතක් ලබා ගෙන ඇත.

පසුදිනක එම ස්ථානයට පැමිණි රුවන් මහතා තමන් අතවූ ටිකට්පත බලා දිනුමක් නැති බව දැකීමෙන් පසු එය කසල බදුනට දැමීමට අලෙවිකරුට දී වෙනත් ටිකට් පතක් මිලදී ගෙන පිටවී ගොස් ඇත.

මෙම ටිකට් පතේ විශේෂිත අංකයට රුපියල් ලක්ෂයක දිනුමක් හිමිව ඇති බව පසුව ලොතරැයි අලෙවිකරු වන පෙරේරා මහතා දැකීමෙන් පසු ඒ බව අලෙවි නියෝජිත බන්දුල මහතාට දන්වා ටිකට් පතෙහි අයිතිකරු සෙවීමට පියවර ගෙන ඇත.

ඒ අනුව දිනුමේ හිමිකරු සොයා ගැනීමෙන් පසු බන්දුල මහතා දිනුමට අදාල මුදල සිය ලොතරැයි අලෙවිසැලේ දී හිමිකරු වන රුවන් අසංක මහතා වෙත   බාරදෙනු ලැබීය.

ටිකට් පතට දිනුමක් නැති බව සිතා තමා විසිකර දැමිමට දුන් ටිකට් පතට දිනුමක් ඇති බව දැනගැනීමෙන් පසුව එය තමන්ට ලබාදීමට කාරුණිකවූ මෙම දෙපලට ස්තුතිය පුද කරන බව රුවන් අසංක මහතා පැවසුවේය.

එමෙන්ම  රුපියල් ලක්ෂයක් සොයා ගෙනවිත් බාරදීමට තරම් නිහතමානි මිනිසුන් තවමත් අප අතර ජීවත් වනු දැකීම මහත් සතුටක් බවද ඔහු කීය.

මීට වසර කිහිපයකට පෙරද මේ ආකාරයෙන්ම දමා ගිය ටිකට්පතකට හිමිව තීබූ රුපියල් ලක්ෂයක මුදලක් එහි අයිතිකාරිය සොයා බාරදීමටද බන්දුල මහතා කටයුතු කරනු ලැබීය.