
(සුජිත් හේවාජුලිගේ)
හිටපු කතානායකවරැන් 2016 වසරේ සිට 2024 වසර දක්වා කාලයේදී පාවිච්චි තර අැති ඉන්ධන ලීටර් 299146 ක් වෙනුවෙන් රුපියල් හත් කෝටි පනස් දෙලක්ෂ හැටදහස් හයසිය හතළිස් අටක් වැය කර අැතැයි ජාතික විගණන කාර්යාලය පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් නිකුත් කළ විශේෂ විගණන වාර්තාවේ සඳහන් වේ.
නවවැනි පාර්ලිමේන්තුවේ අවසාන වර්ෂ දෙක වන 2023 හා 2024 වර්ෂයන්හිදී කතානායකවරයා පිළිවෙලින් මාසිකව ඉන්ධන ලීටර් 3994ක් සහ 6122ක් භාවිත කර තිබූ බව කියන එම වාර්තාව 2022 වර්ෂය හා සැසඳීමේදී පිළිවෙලින් සියයට හැට හයක හා සියයට එකසිය පනස් පහක පමණ මාසික ඉන්ධන පරිභෝජනයේ ප්‍රමාණාත්මක වැඩිවීමක් එහිදී නිරීක්ෂණය කර අැතැයිද සදහන් කරයි.
නියෝජ්‍ය කතානායකවරයා වෙනුවෙන් 2016 වසරේ සිට 2024 වර්ෂය දක්වා කාලයේදී පාවිච්චි කළ ඉන්ධන ලීටර් 204536ක් වෙනුවෙන් රුපියල් කෝටි පහකට ආසන්න මුදලක් වැය කර තිබූ බවද එහි දැක්වේ
නියෝජ්‍ය කතානායක තනතුර වෙනුවෙන් වාහන තුනක් නිල වශයෙන් හිමිවිය යුතු වුවද 2023 හා 2024 කාල පරිච්ඡේදය තුළ නියෝජ්‍ය කතානායක හිමිකම් ලබන නිල වාහන තුනකට අතිරේකව පෞද්ගලික මෝටර් රථයක් සඳහාද ලක්ෂ 85 කට වැඩි වටිනා ඉන්ධන ලීටර් 21299ක් ලබාගෙන තිබූ බව විගණන නිලධාරීන් නිරීක්ෂණය කර ඇත
එසේම නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා වෙනුවෙන් 2016 වසරේ සිට 2024 වසර දක්වා ඉන්ධන ලීටර් 164235ක් නිකුත් කර තිබූ අතර ඒ සඳහා වැය කර තිබූ මුදල රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයකට වැඩිය.
කතානායක, නියෝජ්‍ය කතානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති එම කාල සීමාවේදී සීමා රහිතව ඉන්ධන පාවිච්චි කර තිබූ බවද වාර්තාව පෙන්වා දෙයි
මේ අතර පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් පිරිසක්ද තමන්ට හිමි කිලෝමීටර් ප්‍රමාණය ඉක්මවා පෞද්ගලික ගමන් සඳහා ඉන්ධන භාවිත කර තිබූ බවත් එමගින් රුපියල් ලක්ෂ 11කට ආසන්න පාඩුවක් සිදුව ඇති බවත් වාර්තාවේ දැක්වේ.
අධ්‍යක්ෂ (තොරතුරු පද්ධති හා කළමනාකරණ) අධ්‍යක්ෂ (පාලන) දෙදෙනෙකු වේත්‍රධාරී 1 හා 2, අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා) අධ්‍යක්ෂ (ආහාර පාලන හා ගෘහ පාලන) සංස්කාරක (හැන්සාඩ්) එම ප්‍රධානීහු වෙති.
අදාළ සීමාවන් ඉක්මවූ පසු ඉන්ධන ලීටරයක් සඳහා වෙළඳපොළ මිල2022 ජුලි මස සිට අය කිරීමට කටයුතු කර තිබූ බවද එහි දැක්වේ.
පාර්ලිමේන්තු මහ ලේකම්වරයා නිල වාහන දෙකක් 2022 වසරේ සිට 2023 වසර දක්වා එකවර භාවිත කර තිබූ බවත් ඒ සඳහා ඉන්ධන ලීටර් 15063ක් වෙන් කර ගෙන තිබූ බවත් වාර්තාව සඳහන් කරයි. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 23 කට ආසන්නය.
එය රාජ්‍ය සේවයේ ඉහළම ඉන්ධන ප්‍රමාණයක් හිමිවන අමාත්‍යාංශ ලේකම් තනතුරක් හා සැලකීමේ සැලකීමේදී ලීටර් 2300ක පමණ ප්‍රමාණයක වැඩිපුර ගැනීමක් බව විගණන අංශ පවසයි.
මේ අතර පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ වාර්ෂික වැටුප 2004 වර්ෂයේදී පාර්ලිමේන්තුව අනුමත කිරීමෙන් වසර දෙකක් ගත වූ පසු මූලික වැටුප සියයට අට සීයකින් පමණ ඉහළ ගොස් තිබුණද ඉන් පසු කිසිදු අවස්ථාවක ඒකාබද්ධ අරමුදලට වැය බරක් විය යුතු මහ ලේකම්වරයාගේ වැටුප පාර්ලිමේන්තුවේ අනුමත කර ගැනීම සඳහා කටයුතු කර නොතිබූ බව විගණන වාර්තාවේ දැක්වේ
පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා 2025 දෙසැම්බර් 31 දින වනවිට විවිධ වර්ගයේ වාහන අනූ එකක් භාවිත කර තිබූ බව කියන විගණන වාර්තාව වාහන විසි හතරක් විවිධ තනතුරු වෙනුවෙන් වෙන්කර තිබූ බවද සඳහන් කරයි.
වාහන හතළිස් දෙකක් සංචිත වාහන ලෙස වෙන් කර තිබූ අතර පාර්ලිමේන්තුවේ විවිධ අංශ වෙනුවෙන් වෙන් කර තිබූ වාහන ගණන 13කි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ කතානායක කාර්යාලය සදහා 2015 වසරේ සිට 2023 වසර දක්වා වසර නවයක කාලයේදී (ව්‍යාපෘතිය අනුව දරණ ලද වියදම) රුපියල් කෝටි 2799 කට වැඩි මුදලක් වැය කර ඇතැයි එම වාර්තාවේ සඳහන්වේ.
මෙයින් වැඩිම මුදලක් වැය කර ඇත්තේ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය වෙනුවෙනි. එම මුදල රුපියල් කෝටි 1653 කට ආසන්නය.
මීළඟට වැඩිම මුදල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් වැයකර ඇති අතර එම මුදල කෝටි 977 කට වැඩි යැයි විගණන වාර්තාවේ සඳහන්වේ.
මෙයට අමතරව කතානායක කාර්යාලය වෙනුවෙන් එම කාල සීමාවේදී රුපියල් කෝටි 169කට වැඩි මුදලක් වැය කර ඇත.
මෙයට අමතරව පාර්ලිමේන්තුවේ ආහාර සහ නිල ඇඳුම් වෙනුවෙන් රුපියල් කෝටි 89කට වැඩි මුදලක් (2030-2024) වැය කර තිබූ බව කියන විගණන වාර්තාව පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන සාමාන්‍ය දිනකදී 1200ක් සහ රැස්වීම් පැවැත්වෙන දිනයන් දී 1800ක් සඳහා දිවා ආහාරය සැකසීම සිදුවන බවද සඳහන් කරයි.
සාමාන්‍ය කාර්යමණ්ඩලය සඳහා එක් භෝජනාගාරයක්ද විධායක කාර්ය මණ්ඩලය සඳහා එක් භෝජනාගාරයක්ද මන්ත්‍රීවරුන් සඳහා එක් භෝජනාගාරයක් සහ මන්ත්‍රීවරුන්ගේ අමුත්තන් සඳහා භෝජනාගාරයක්ද වශයෙන් මුළු භෝජනාගාර හතරක් ක්‍රියාත්මක වන බව එහි දැක්වේ. ආහාර සහ ගෘහ පාලන කටයුතු සඳහා පසුගිය වසරේ දෙසැම්බර් 31 දිනට 234 ක කාර්යමණ්ඩලයක් යොදවා තිබුණු බවද ජාතික විගණන කාර්යාලය පවසයි.
පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල තොරතුරු සම්බන්ධයෙන් විධිමත් දත්ත පද්ධතියක් පවත්වාගෙන ගොස් නොතිබූ බව පවසන විගණන කාර්යාලය අනුමත නිලධාරි සංඛ්‍යාව හා සැසදීමේදී තථ්‍ය නිලධාරී 159 දෙනෙකුගේ පුරප්පාඩු පැවතුණ බව සඳහන් කරයි.
එම තනතුරු සම්බන්ධයෙන් විධිමත් විශ්ලේෂණයක් කර අවශ්‍යතාව අනුව බඳවා ගැනීම සිදුකිරීමටත් අනවශ්‍ය තනතුරු පවතී නම් එම තනතුරු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කර නොතිබූ බව විගණන නිලධාරීන් නිරීක්ෂණය කර ඇත.
මුදල් අමාත්‍යවරයාගේ වගකීම්වලට රජයේ අස්ථිත්ව නිලධරයන්ට හා වෙනත් සේවා නියුක්තියන්ට වැටුප් පඩි නඩි වෙනත් ගෙවීම් නිශ්චය කිරීම ඇතුළත් විය යුතු බව දක්වා තිබුණද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමකින් තොරව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පනත ප්‍රකාරව කටයුතු කරන බව වාර්තාවේ දැක්වේ
තවද පාර්ලිමේන්තුව කාර්ය මණ්ඩලයේ බඳවා ගැනීම සම්බන්ධයෙන් තීරණ අනෙකුත් රාජ්‍ය ආයතනයන්හි කාර්ය මණ්ඩලය බඳවා ගැනීමේදී මෙන් විශේෂ අනුමැතිය ලබා ගත යුතු ආයතන හා සම්බන්ධ වීමෙන් තොරව කාර්ය මණ්ඩල උපදේශක සභාවෙන් පමණක් සිදු කිරීම හේතුවෙන් අදාළ පසු විපරම් කටයුතු විධිමත් පරිදි සිදු නොවන බවද විගණන නිලධාරීන් නිරීක්ෂණය කර ඇත.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයා හා කතානායකවරයාගේ කාර්ය මණ්ඩලය වෙත ඉන්ධන හා වාහන වෙන් කිරීමේදී රජය විසින් වරින් වර නිකුත් කරනු ලබන නීති රෙගුලාසි වලට යටත්ව සීමාවන් ඇති කිරීමට අවධානය යොමු කළ යුතු බව විගණන වාර්තාව නිර්දේශ කර ඇත.
තවද වසර හැත්තෑවකට පමණ පෙර හඳුන්වා දී ඇති පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පනත නැවත සමාලෝචනය කර වර්තමානයේ පවත්නා නීති රීතිවලට යටත්ව පනත සංශෝධනය කර හෝ අවලංගු කර හෝ අනෙකුත් අස්ථිත්වයන් මෙන් පවත්නා නීති රීතිවලට යටත්ව පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලනය හා සේවක කළමනාකරණය කිරීමට පියවර ගතයුතු බවටද නිර්දේශ කර ඇත.
කාර්ය මණ්ඩලය සඳහා නොමිලයේ ප්‍රවාහන සැලසීම සඳහා වාර්ෂිකව රජයට සැලකිය යුතු පිරිවැයක් දැරිය යුතු බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කර කාර්ය මණ්ඩල ප්‍රවාහන පිරිවැය අවම කර ගත හැකිද යන්න පිළිබඳව අවධානය යොමු කරන ලෙසටද වාර්තාව නිර්දේශ කර ඇත.
විගණකාධිපති සමුධිකා ජයරත්න මහත්මියගේ අත්සනින් යුතුව මෙම විශේෂ විගණන වාර්තාව නිකුත් කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් මේවා එතුමලාගේ දේපලනේ. ඒ අයට ඕවට මොනව නොකරන්න බැරිද? ඔය එක්කෙනෙක් කෝටි හත අටක් ගත්ත කියල රට වැටෙනවද .!.
උන්ගේ car, ස්ටාර්ට් කරලයි තිබිල තියෙන්නේ. කවදාවත් off කරලා නැහැ. ඕකුන් ආයේ පත් කරගත්තොත් වෙන්නේ, හඳට යන ගානට පැට්රල් ලීටර් දෙන්න වෙයි.