
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව තිබෙන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කාර්යාලය මූලික කරගත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශවලට අද (20) උපදෙස් දුන්නේය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඊට අනුබද්ධ සියලුම වෘත්තීය සමිතිවල නියෝජිතයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (20) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන් අතර ඊට අදාළ සාකච්ඡාව පැය 4කට ආසන්න කාලයක් පැවැත්විණි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිමිකාරීත්වය රජය සතුව පවත්වා ගැනීමට ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණය අනුව යමින් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සකස් කරන ලද ව්‍යාපාර සැලැස්මෙහි ඉලක්ක ළගා කර ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
ඒ අනුව මුල්‍ය ප්‍රවාහ කළමනාකරණය හා ආයතනයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම තුළින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු නොලබන ආයතනයක් ලෙස ගොඩනැංවීමට එහි සියලු පාර්ශවයන්ගේ දායකත්වය හා කැපවීම ලබාදීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි.
සාමූහික මැදිහත්වීමක් නොමැතිව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගොඩනැඟිය නොහැකි බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් වියදම් වෙනුවෙන් තවදුරටත් මහා භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන හිමි නොවන පසුබිමක, ආයතනය තුළම ආයතනය ගොඩනඟා ගැනීමේ ශක්‍යතාව වර්ධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.
දේශපාලන අධිකාරිය ලෙස මෙරට ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීමට කළයුතු සියලු කැපකිරීම් සිදු කරන බවත්, එලෙසම ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගොඩනැඟීම එහි සියලු කාර්‍යමණ්ඩලයේ වගකීම බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මෙවර අයවැයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් රු. බි. 20ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් මෙය මෙරට ජනතාවගෙන් අයකර ගන්නා බදු මුදල් බැවින් එම සියලු මුදල් ඵලදායීව යෙදවීම සියලුදෙනාගේ වගකීම බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
රජයේ හිමිකාරීත්වය යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු නොලබන ව්‍යාපාරයක් බවට පත් කිරමේ රජයේ අරමුණ ඉටු කර ගැනීම වෙනුවෙන් වෘත්තීය සමිතිවල පූර්ණ සහාය ලබා දෙන බවත්, එය තමන්ගේද මූලික අභිප්‍රාය බවත් මෙයට සහභාගී වූ වෘත්තීය සමිති නියෝජිතයෝ ජනාධිපතිවරයා ඉදිරියේ සහතික වූහ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති සරත් ගණේගොඩ මහතා ඇතුළු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, ශ්‍රී ලංකන් ගුවන් නියමු සංසදය, ගුවන් සේවක සංගමය, බලපත්‍රලාභී ගුවන්යානා ඉංජිනේරුවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකන් ගුවන් සේවා ගුවන්යානා කාර්මික ශිල්පීන්ගේ සංගමය, ගුවන්යානා ඉංජිනේරු සංසදය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, අන්තර් සමාගම් සේවක සංගමය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවා විධායක සංගමය යන වෘත්තීය සමිතිවල නියෝජිතයෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටි ප්‍රකෝටි ගනන් පාඩු පිට පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සමාගම දශක ගණනාවක් තිස්සේ ජාතියටම දැරිය නොහැකි බරක්! දේසපාලුවන් බලය වෙනුවෙන් බඩගෝස්තරවාදී වෘත්තීය සමිති මාපියාවල් සමග කල්ලි ගැහිලා හරියට නීතියක් ක්‍රියාත්මක නොවන රටක දූෂිත නිළධාරීන්ට දඩුවම් දීමට කතා කිරීම තවත් මාධ්‍ය ය සංදර්ශනයක් විතරක් පමණක් නොව සේවකයින් කියලා ආයතන වලට රිංගලා නොවටිනා පඩි දීමනා වරප්‍රසාද භුක්ති විඳින දේශපාලන හිතවතුන් දහස් ගනනක් හොරු ගන්ට වෘත්තීය සමිති මාපියාව රැකවරණය දීමක්!! සැබෑ තත්වයෙන් කොටසක් යටපත් කිරීමක්!!
රටට බරක් වෙච්ච මේකට තව බිලියන 20 ක් දුන්නෙ ඇයි? මේකෙ වැඩ කරන එවුන් සහ පාලනය කරන අය ගන්න සැප මදි නිසා ද? ඔව් ලොකු තැනගෙ පුතත් වැඩ කරන්නේ ඔතනලුනෙ. එතකොට සලකන්නෙ නැතුව බෑ
රජයේ කුමන ආයතනයකට හෝ අක්‍රමිකතා වලට සම්බන්ධ සියලු දෙනාටම නිසි දඬුවම් ලබා දිය යුතුයි.
ඔය ආයෙත් ලෑස්ති වෙන්නේ තව අවුරුදු 5ක් ණය ගෙව ගෙවා රටත්කාලා අපිත් කන්න. සිල්ලර කඩයක් වගේ ජාතික ගුවන් සේවයක් කරන්න බෑ. ප්‍රතිව්‍යුහගත කිරීමක් අත්‍යාවශ්‍යයි. රටට කෙලවෙනකන් ගැලරිය චූන් කරකර ඉන්න පුළුවන්...